Thursday, 28 July 2016

අවුරුදු කුමාරියක වූ නංගී වෙනුවෙන් වසර 41 ක් සිරබත් කෑ හිතුමතේ අයියා..!

වැලිකඩ බන්ධනාගාරයේ අවුරුදු 129ක දඩුවම් කාලයක් ගෙවමින් සිටි කළුතර බී.ඩී සුමතිපාල නොහොත් හිතුමතේ ජීවිතේ නැමති සිරකරුවා ජනාධිපති තුමාගේ විශේෂ සමාව ලැබ නිදහස ලැබුවේය.
1972 වසරේ කළුතර තිස්ස විද්‍යාල ක්‍රීඩාංගනයේ පැවති අවුරුදු කුමාරිය තරගයේදී පළමු තැනට අභිෂේක ලැබූ මොහුගේ නැගණිය පැහැරගෙන දූෂනය කොට මරාදැමූ පොලිස් පරීක්ෂකයෙකු ඇතුළු ඝාතකයින් සොයා ගිය හිතුමතේ ජීවිතේ ඔවුන් සියල්ලන්ම අවස්ථා ගණනාවකදී මරා දැමුවේය. එම අරමුණ ඉටුකර ගැනීම සදහා ඔහු කීප වතාවක්ම බන්ධනාගාරයෙන් මිදී පලා ගියේය. අරමුණ ජයගත් පසු සාමකාමීව සිරගෙදර ජීවිතය ගත කලේය.
අවස්ථා කීපයකදීම මරණීය දණ්ඩනයෙන් ගැලවුනු හිතුමතේ ජීවිතේ පෝරකයට නංවා ගෙලට තොණ්ඩුව දැමීමෙන්ද පසුව ජීවත් වීමට වාසනාව ලද එකම සිරකරුවා වන්නේය.
ක්‍රියාදාම චිත්‍රපටියකට ඔබින මේ කථාව මෙලෙස ඔබ හමුවට එන්නේය.
ගෝනදූවේ විසූ සුමතිපාල 17 හැවිරිදි වියේදී ඔහුගේ නැගණිය කුසුමා (කුසුමාවතී) පාසල් යාමෙන් පසු අතුරුදහන් වූ අතර ඇය කොල්ලෙකු හා පැනගිය බව ගමේ බොහෝ දෙනා විශ්වාස කල නමුත් ඇගේ දෙමාපියෝ හා අයියා එය පිළි නොගත්හ. පොලීසියේද පැමිණිලි කල අතර පොලීසියද නිද්‍රාශීලී බවක් අනුගමනය කලේය. සති කීපයකට පසු දිනක එල්ලයක් නැතිව පාරේ යමින් සිටි සුමතිපාලට කුසුමාගේ පාසල් මිතුරියක් හමු වූ අතර ඇය එතෙක් සගවාගෙන සිටි රහසක් ඔහුට කීවාය. කුසුමා අතුරුදහන් වූ දින ඇය සමග යමින් සිටියේ මෙම යෙහෙළියයි.
පාළු පෙදෙසකදී එක්වරම නැවතූ මෝටර් රථයකට කුසුමා ඇද දමාගෙන ගිය බවත් රථයේ සිටියේ 1972 වසරේ කළුතර තිස්ස විද්‍යාලයීය ක්‍රීඩාංගනයේ පැවති අවුරුදු කුමරිය තරගයේදී පළමු තැනට අභිෂේක ලැබූ කුසුමාට කිරුළ පැළැන්දූ දිසානායක අයි.පී මහත්තයා බවත් රියදුරු විල්සන් නම් අයෙක් බවත් ඇය කීවාය. ( මේ බව කිසිවෙකුට නොකියන්නට ගෙදරින් පොරොන්දු කරගත් නිසා ඇය නිහඩව සිට ඇත)
පොලීසියට ගොස් අයි.පී මහතා හමුවුවද ඔහු සුමතිපාල එලවා ගත්තේ නංගි කොල්ලෙක් එක්ක පැන ගිය බව කියමිනි. නංගිගේ අතුරුදන් වීම සම්බන්ධ කිසිදු පරීක්ෂනයක් සිදු නොවන බවත්, එවැනි පරීක්ෂණයකට අයි.පී මහතා ඉඩ නොදෙන බවද පැහැදිළිය.
කළුතර නගරයේ කුලී රථ රියදුරකු වූ විල්සන් පදිංචිව සිටියේ තරමක් පිටිසර පෙදෙසක රබර් වත්තක් අසළය. සුමතිපාල දින කීපයක් නගරයේ කැරකී විල්සන් රියදුරුද ඔහුගේ නිවෙසද සොයා ගත්තේය. විල්සන් අල්ලා ගන්නට රබර් වත්තේ පාළු කිරි මඩුවකට රිංගා ගත් සුමතිපාල උල් පිහියක්ද ගෙන එහි රැක සිටියේය.
රාත්‍රියේ තනිවම පැමිණි විල්සන් අල්ලා ගත් ඔහු පිහිය පෙන්වා භිය ගන්වා කිරිමඩුව කරා ඇදගෙන ගියේය. විල්සන් බීමතින් සිටි නිසා 17 වියැති සුමතිපාලට ඔහු මෙල්ල කිරීම පහසු විය. මරණ භියෙන් තැතිගත් විල්සන් සියල්ල වැමෑරීය.
කුසුමා එදින පැහැරගැනීමෙන් පසු මීගමුවේ කොච්චිකඩේ අයි.පී මහතාගේ මස්සිනා කෙනෙකුට අයත් තානායමකට රැගෙන ගිය බවත්, මස් කඩ මුදලාලි කෙනෙක් සහ විදුහල්පති කෙනෙක් ඇතුළු පස් දෙනෙක් අතින් ඇය දින ගණනාවක් දූෂනයට ලක් වූ බව ඔහු කීවේය. මේ විස්තර ඔහු දැනගත්තේ එම තානායම් අයිතිකාරයාගේ රියදුරාගෙනි. ඉන්පසුව වෑන් රථයක දමා ඇය කොහේ හෝ ගෙනගොස් මරා පුළුස්සා දමා ඇති බව පසුව එම වෑන් රථයේ රියදුරා පවසනු ඔහුට ඇසී ඇත.
සුමතිපාල විල්සන් මරන්නට ගියේ නැත. ඔහු විල්සන් අතහැර කළුතර නගරයේ ප්‍රකට කම්මල්කරුවෙකු සොයා ගොස් කඩොලාන කපන්නට යයි කියා වක් පිහියක් තනවා ගත්තේය. දින තුනකින් පිහිය ඔහු අතට පත් විය.
අයි. පී. දිසානායක පදිංචිව සිටි නිවෙසේ වත්තේ තිබූ කෙසෙල් පදුරකට මුවා වී සුමතිපාල සිටියේය. ඔහු අත තිබූ පන් මල්ලක අළුත්ම වක් පිහිය තිබුනි. රාත්‍රී 8ට පමණ හොරෙන් වත්තට ඇතුල් වූ ඔහු දිසානායක පොලිස් ජිප් රථයේ සිට නිවසට ඇතුල් වනු බලා උන්නේය. වත්තේ තිබූ ළිද වෙත දිසානායක යන තෙක් ඔහු රැක සිටියේය. නමුත් මුළු රාත්‍රියේම එම අවස්ථාව උදා වූයේ නැත. සුමතිපාල ළිද අසල වාඩි වී පාන්දර වනතුරු කල්මැරුවේය. පාන්දර පහට පමණ නිවසේ විදුලි පහන් දැල්වුණු නිසා ඔහු පිහිය රැගෙන එදෙසට ගියේය. ටික වේලාවකින් ඉස්තෝප්පු දෙර අරින ශබ්දය ඇසුනෙන් ඔහු දිසානායක පිටතට එන විටම දොර අසල රැක සිට එක පහරකින්ම සතුරාගේ හිස කපා වෙන්කල සුමතිපාල හිස පන් මල්ලේ දමාගෙන වේගයෙන් දිව ගියේය.
ප්‍රධාන පාරවල් මගහැර අතුරු පාරවල් වලින් ඔහු ගියේ පොලිස් නිළ නිවාස සංකීර්ණය වෙතය. ජේෂ්ඨ පොලිස් අධිකාරීතුමාගේ නිල නිවෙසට ආ සුමතිපාල ලේ බේරෙන පන් මල්ලෙන් මිනිස් හිස එළියට ගෙන අධිකාරීතුමාට භාර දුන්නේය.
මහත්තයා මහන්සි වෙන්න ඕන නෑ. මගේ නංගි මැරූ මිනිහා මම හොයාගත්තා. දැන් ඔක්කොම ඉවරයි. පින් සිදුවෙයි. මහත්තයෝ මාව පෝරකේට යවන්න. තමුන්නාන්සේගෙන් මම ඉල්ලන්නෙ එච්චරයි. ඔන්න මගේ රාජකාරිය මම කළා. දැන් තමුන්නාන්සෙගෙ රාජකාරිය තියෙන්නෙ. සුමතිපාල කීවේය.
පොලිස් අධිකාරිවරයා ගේ දුරකථන ඇමතුමින් පොලිස් නිලධාරීන් රැගත් වාහන කීපයක්ම එහි පැමිණ සුමතිපාල අත්අඩංගුවට ගත්තේය. පිහිය පොලිස් භාරයට ගැනුනු අතර හිස රෝහල් මෝචරියට යැවිණි. පොලිස් අධිකාරීවරයාගේ නියෝගය මත සුමතිපාලගේ කට උත්තරය ගත්තේ සහකාර පොලිස් අධිකාරී කාර්යාලයේදීය.
සුමතිපාල කට උත්තරය ගත් නිලධාරියාට සියලු දේ නොසගවා හෙළි කලද පොලිස් පරීක්ෂකවරයා සිය නැගණියට කල විපත ඉදුරාම දත් බව පැවසුවා මිස තමා එය දැනගත් ආකාරය හෙළි නොකිරීමට වග බලා ගත්තේය. වඩා වැදගත් කරුණ නම් සිය දඩයමේ අවසානය මෙය නොවේ යැයිද ඔහු කට උත්තරයේ සදහන් කිරීමයි.
වයස 18 සම්පූර්ණ කර නොතිබුනත් සුමතිපාලට චෝදනා එල්ල කලේ වැඩිහිටියෙකු ලෙස සලකාය. මහේස්ත්‍රාත් වරයා නඩුව විභාගයට ගත්තේ මාස 5 කට පමණ පසුවය. සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයට තමා වරදකරුද නිවැරදිකරුදැයි නඩුකාර තැන ප්‍රශ්න කල අවස්ථාවේ, වැරදිකරු ස්වාමීනී යැයි ඔහු නොපැකිළව පිළිතුරු දුන්නේය. 1974 වසර අග භාගයේ මහාධිකරණ නඩු විභාගය ආරම්භ වූයේය. සුමතිපාල තමා වෙනුවෙන් කිසිවෙකු පෙනී නොසිටින බව ජූරි සභාව ඉදිරියේ නඩුව විභාගයට ගත් ප්‍රථම දිනයේ දැනුම් දුන්නේය. ඒ අනුව නඩු විභාගය කල් තබන ලද අතර සුමතිපාල වෙනුවෙන් පෙනී සිටීමට රජයේ නීතිඥ මහතෙකු නම් කොට නැවත නඩුව කැදවන විට තවත් මාස තුනක් ගත වී තිබුනේය.
1975 මාර්තු මාසයේ නඩු විභාගය අවසන් විය. සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයට සුමතිපාල වැරදිකරු බවට ජූරි සභාවේ වැඩිදෙනා තීන්දු කලහ. 1975 මැයි මස 7 වැනි දින පෙ.ව 8.05 ට බෝගම්බර බන්ධනාගාරයේ බිත්ති හතරක් තුලදී බටුගහ ගෙදර දොන් සුමතිපාල නැමති අය ප්‍රාණය නිරුද්ධ වනතුරු එල්ලා මරණයට පත්කරන්නට නියම කොට මහාධිකරණ විනිසුරු තින්දුව ප්‍රකාශයට පත් කළේය.
උක්ත අපරාධය සිදුවන අවස්ථාවේ මෙම නැතැත්තා වයස 17 ක තැනැත්තකු වුවද මරණීය අපරාධය සිදුකිරීමේ අදහසින් සැලසුම් සහගතව ක්‍රියාකොට තිබීමත්, දඩුවමට යටත් කෙරෙන විට වයස 18 ක් සම්පූර්ණ වී තිබීමත් යන කරුණු සැලකිල්ලට ගනිමින් දණ්ඩ නීති සංග්‍රහය ප්‍රකාරව මරණීය දණ්ඩනය ස්ථිර කොට අත්සන් තබන බව මහාධිකරණ විනිසුරුවරයා විවෘත අධිකරණයේදී ප්‍රකාශ කළේය.
බෝගම්බර සිරගෙදර එවකට මරණ දඩුවමට නියමිතව සිටි සිරකරුවන් හත්අට දෙනා අතර සිටි ළාබාල සිරකරුවා වූයේ 18 හැවිරිදි සුමතිපාලය. අනෙකුත් අය අතර අනුරාධපුරේ මරු සිරා, හොද පපුවා, බඹරා ආදීන් සහ එවකට ප්‍රකට මිනීමැරුම් නඩුවක විත්ති කරුවන් වූ කැලැත්තෑවේ ඇල්ප්රූඩ් සොයිසා, කළු ඇල්බට්, විලී මාමා යන අයද සිටියහ.
සුමතිපාල තුල පෝරකය පිළිබද විශේෂ හැගීමක් තිබුනේ නැත. එහෙත් නැගනිය දූෂණය කර මරා දැමීමට හවුල් වූ අනෙක් තිදෙනා ගැන හිතෙහි වූ වෛරය ඔහුගේ සිත තුල කැකෑරෙමින් නිබදව පීඩා දුන්නේය. එක් අයෙකු කළුතර ප්‍රදේශයේම පුද්ගලයකු වූ විදුහල්පතිවරයාය. අනෙකා වෙන්නප්පුව පැත්තේ මස්කඩ මුදලාලිය.
තුන්වැන්නා කොච්චිකඩේ ගෙස්ට් හවුසිය හිමි තැනැත්තා වූ මරා දැමූ අයි පී ගේ මස්සිනාය. අපායට යතත් යා යුත්තේ ඔවුන් තිදෙනාත් කැටුවම යැයි සුමතිපාල අධිෂ්ඨානසහගත සිතුවිල්ලක පසු වූවේය.
මරණ දඩුවම ක්‍රියාත්මක කිරීමට නියමිත දිනයට පෙරදින සුමතිපාල බලන්නට ආ ඔහුගේ මවට හෘදයාබාධයක් සෑදී මිය ගියාය. සුමතිපාල රාත්‍රී ආහාරය බෙදා දුන් ඇලුමිනියම් පිගාන නවා ඉන් කොටසක් කඩා එය පිහියක් සේ මුවහත තබා සිය උදරය කීප වාරයක් කපා ගත්තේය. අන්තිමට ඔහු ගෙලද එක් වරක් කපා ගත්තේය.
මහනුවර මහ රෝහලට ගෙන ගිය සුමතිපාලට ප්‍රධාන ශල්‍ය වෛද්‍ය වරයා ඇතුලු වෛද්‍යවරු සිව් දෙනෙකු විසින් පැය හතරක පමණ බරපතල මට්ටමේ ශල්‍යකර්මයක් කරන ලදී. අවසන් වරට සුමතිපාල සිය ගෙලෙහි සිදුකරගත් තුවාලය එතරම් බරපතල නොවීය. දැඩි සත්කාර ඒකකයට ඇතුල් කල ඔහු පිළිබද ප්‍රශ්නය පුපුරා ගියේ පසු දින උදයේය.
රාත්‍රියේ ශල්‍යකර්මයට යොමු කල බී.ඩී සුමතිපාල නම් සිරකරුවා පෙ.ව 8.05 ට මරණ දණ්ඩනයට යොමුකල යුතු බැවින් ඔහු නැවත බන්ධනාගාරය වෙත ගෙන යා යුතු යැයි බන්ධනාගාර නිලධාරීහු කියා සිටියහ. එය කිසිසේත් තමාට වැදගත් වන කාරණයක් නොවන බවත්, තමා භාරයේ සිටින රෝගියකු සම්පූර්ණ සුවය ලබනතුරු රෝහලෙන් බැහැරට ගෙන යාමට තමා අවසර නොදෙන බවත් ප්‍රධාන වෛද්‍යවරයා කියා සිටියේය.
තත්වය උණුසුම් වූයෙන් මහනුවර රෝහල භාර වෛද්‍ය අධිකාරීවරයාද එහි පැමිණියේය. බන්ධනාගාර නිලධාරීන්ගේ තර්කය වූයේ බී.ඩී. සුමතිපාලගේ මරණ දණ්ඩනය සදහා අධිකරණ අමාත්‍යංශයේ මහාධිකරණ නියෝගයට පිටින් යෑමට තමන්ට කිසිදු ඉඩක් නැති බවය. ඒ අනුවරෝගියා තමන් රැගෙන යා යුතුම යැයි ඔව්හු තර්ක කලහ.
බලය යොදා එය වැළැක්වීමට වෛද්‍යවරුන්ට හැකියාවක් නැති බැවින් වෛද්‍ය නියෝගයට පිටින් බලහත්කාරයෙන් රෝගියා ගෙනයන බවට ලිඛිත සටහන් ලබා ගැනීමෙන් පසු රෝගියා රැගෙන යාමට ඉඩදී වෛද්‍ය අධිකාරීවරයා පිටවී ගියේය.
මේ අතර ශල්‍යකර්මය සිදුකොට නින්දට ගිය ශල්‍ය වෛද්‍යවරුන්ට දැනගන්නට ලැබුනේ රෝගියා මරා දමන්නට රැගෙන ගිය බවය.
ඔව්හු සියල්ලෝ වෛද්‍ය අධිකාරී නිල කාමරයට රැස්වූහ. වෛද්‍ය අධිකාරීවරයා බන්ධනාගාර නිලධාරීන් තමන්ට එල්ල කල අභියෝගයට මුහුණ දිය යුතු යැයි දැඩි අධිෂ්ඨානයක සිටියේය. ඔහු මේ සම්බන්ධයෙන් නීති උපදෙස් පැතුවේය. පෝරකයට නියම වූ සිරකරුවකුට සමාව දීමේ බලය ඒ වන විට පැවරී තිබුනේ අග්‍ර ආණ්ඩුකාරවරයාට පමණි. ඔහු දන්නා හදුනන අධි නීතිඥ මහත්වරුන් කීපදෙනෙකු ප්‍රකාශ කලේ වහාම අග්‍ර ආණ්ඩුකාර විලියම් ගොපල්ලව මහතාට දැනුම් දෙන ලෙසය. ඒ සදහා වෛද්‍යවරුන්ට ඉතිරිව පැවතියේ තවත් මිනිත්තු 20 ක් පමණි.
අග්‍රාණ්ඩුකාරවරයාගේ ලේකම්වරයා ඇමතූ වෛද්‍ය අධිකාරීවරයාට ලැබුනු පිළිතුර වූයේ මරණ දණ්ඩනයට කැපවූ සිරකරුවෙකු නිදහස් කරවා ගැනීමට නම් ලිපි ලේඛන රාශියක් අධිකරණ අමාත්‍යාංශය හරහා හුවමාරු විය යුතු බැවින් ඒ සදහා මාස 3 ක කාලයක් අවම වශයෙන් ගතවන බවය. ඒ නිසා එය මේ අවස්ථාවේ කිසිසේත් කල නොහැකි බව ආණ්ඩුකාර ලේකම් පැවසීය.
වෛද්‍යවරුන් පරාජය භාරගත්තේ නැත. ඔව්හු අග්‍රාණ්ඩුකාරවරයාට මේ සියල්ල දැනුම් දෙන්නට තීරණය කලහ. වෛද්‍ය අධිකාරීවරයා රාත්‍රියේ සිදුවූ සියල්ල අග්‍රාණ්ඩුකාරවරයාගේ නිවසේ දුරකථනය මගින් ඔහු අමතා දැනුම් දුන්නේය. විලියම් ගොපල්ලව මහතා සිටියේ මහනුරව අග්‍රාණ්ඩුකාරවරයාගේ නිල නිවසේය. වෛද්‍ය අධිකාරීවරයාට සාවධානව සවන්දුන් හෙතෙම ඔරලෝසුව දෙස බැලුවේය. උදෑසන 7.50 එහි සටහන්ව තිබුනේය. රෝගියාගේ රෝහල් සටහන් පමණක් රැගෙන වහාම අග්‍රාණ්ඩුකාර නිල නිවෙසට එන ලෙස හෙතෙම වෛද්‍යවරයාට දැන්වීය.
බෝගම්බර බන්ධනාගාරයේ අලුගෝසුවා පෝරකය මත සිටවූ (බාගෙට සිහිසුන්) සුමතිපාලව ඔහුගේ සහායකයා වැටෙන්නට නොදී අල්ලා ගෙන සිටියේය. වෙලාව පෙ.ව 8.02 සටහන්ව තිබුනේය. සුමතිපාලගේ ගෙලට තොණ්ඩුව දමා මනාව සකස් කර ඇත. මුහුණ සුදු ලෝගුවෙන් වසා තිබේ. අලුගෝසුවා පෝරකය ගස්සන ලිවරය දකුණතින් තදින් අල්ලා ගත්තේය.
ඒ මොහොතේ කිසිවෙක් කොරිඩෝව දිගේ එහි පැමිණෙමින් සිටියේය. ඔහු අන් කිසිවකු නොව අග්‍ර ආණ්ඩුකාර විලියම් ගොපල්ලව මහතාගේ එවකට සිටි ලේකම්වරයාය. ඔහු කෙටි ලියවිල්ලක් බන්ධනාගාර අධිකාරීවරයා අත තැබුවේය. එය කියවමින්ම අධිකාරීවරයා අලුගෝසුවාට අතින් සංඥාවක් දුන්නේය. ලිවරය අත්හළ අලුගෝසුවා වහා සුමතිපාලගේ ගෙලින් තොණ්ඩුව ඉවත් කළේය. හිතුමතේ, පෝරකයට නංවා ගෙලට තොණ්ඩුව දැමීමෙන්ද පසුව ජීවත්වීමට වාසනාව ලද එකම ලාංකිකයා විය.
සුමතිපාල නැවතත් මහනුවර මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කරනු ලැබීය. දින 7 කින් සාමාන්‍ය වාට්ටුවට මාරු කෙරිණි. නැවත බන්ධනාගාරයට ගෙනයෑම සදහා වෛද්‍යවරුන් අනුමැතිය දුන්නේ තවත් මාස දෙකක් ගතවීමෙන් පසුවය. එල්ලා මැරීම සදහා වූ නඩු තීන්දුව අනුව නැවත දිනයක් නියම වනතුරු ඔහු මරණයට කැපවූ අනෙක් සිරකරුවන් මෙන් තනි සිරමැදිරියක සිටියේය. එහෙත් කවර හේතුවක් නිසා හෝ ඒ සදහා අධිකරණ අමාත්‍යංශයේ ලිපිය ලැබීම පමා වෙමින් තිබුනේය.
හතුරන් තිදෙනාගෙන් පළි නොගෙන පරලොව නොයා යුතු යයි සිතා ගත් හිතුමතේ සිර ගෙදරින පළා යාමට සැලසුම් කළේය. මරණ දණ්ඩනයට නියමු වූ සිරකරුගේ අඩි 6 x 4 කුඩා කාමරයේ තිබුනේ සීමිත ආම්පන්න. සංඛ්‍යාවකි. කෑම බෙදන තැටිය, කෝප්පය හා මල බදුන හෙවත් පිස් පෝච්චියක්, වතුර සලාකය ලබාදුන් කුඩා බාස්කට් එකක්ද ඒ අතර විය. එම වතුර භාජනය සිර ගෙදර භාෂාවෙන් හදුන්වන ලද්දේ කොට්ටුව යන නමිනි. එය කුඩා බාල්දියක් වැන්නකි. එයට අමතරව සිරකරුගේ පරිහරණය සදහා රෙට්ටුව නමින් හැදින්වූ ඝන රෙද්දක්ද විය. සිර මැදිරියේ බිත්ති නිමවා තිබුනේ විශාල ගල් වලිනි. යම් හෙයකින් බිත්තියේ ගලක් ඉවත්කරගතහොත් ඉන් මතුවන සිදුරෙන් රිංගා සිර මැදිරියෙන් පිටවීමේ හැකියාව තිබේ.
වතුර බාස්කට් එක දෙපසින් තදකර එහි පනිට්ටු කොක්ක ගලවා ගත් ඔහු එය උල් කූරක් සේ යොදා ගනිමින් ගලවටා වූ බදාමය සූරන්නට පටන් ගත්තේය. Cඔන්ඩෙම්නෙඩ් ෂෙල්ල් ප්‍රදේශයට රාත්‍රී කාලයේ නිලධාරීන් එන්නේ නැත. ඔහු කම්බි කොක්කේ ආධාරයෙන් ගලවට වූ බදාමය සූරාදැමීම සිරගෙය නින්දට ගිය පසු ආරම්භ කළේය. එය ලෙහෙසි පහසු කටයුත්තක් නොවූයේ බදාමය සවිමත් බැවිනි. දිනකට කඩල ගොට්ටක් පිරෙන්නට තරම් වූ බදාම කුඩු ප්‍රමාණයක් එකතු වූ අතර ඒවා හිස් පෝච්චියකට දමා නියමිත වෙලාවට එළියට ගෙන ගියේය. බාල්දි කොක්ක යළි තිබූ පරිද්දෙන් සවි කෙරිණි. දිවා කල අනෙකුත් සියල්ල සාමාන්‍ය පරිදි සිදුවිය. ගල වටේ බදාමය සූරා දැමීමෙන් ඇති වූ කඩතොළු වැසීමට ආහාර සලාකයට ලැබුනු පාන් භාගයේ මැද කොටස හොදින් පදම් කොට පිටි ගුලියක් සේ අනා භාවිතා කෙරිණි. රාත්‍රී කාලයේ නොනවත්වාම ඔහු වැඩ කළේය. එම බරැති විශාල ගල මාස එකහමාරක් පමණ යද්දී බුරුල් විය.
පිටතට පැමිණියත් බෝගම්බර හිරගෙදර අඩි 18 ක් තරම් උස තාප්පය තරණය කිරීම ගැටළුවකි. සුමතිපාලට ලැබී තිබූ රෙට්ටුව කලක් පාවිච්චිය නිසා ඉරී තිබුනේය. ඔහු පළමු පියවර වශයෙන් නිලධාරී මහතකුට ඇවිටිලි කොට අලුත් රෙට්ටුවක් ඉල්ලා ගත්තේය. එය බෙහෙවින්ම ශක්තිමත්ය. රෙට්ටුව තීරුවලට ඉරා කඹයක් අඹරා ගත්තොත් එම කඹේ ආධාරයෙන් සිරගෙදර තාප්පය නැග පැන යා හැකිය. රෙට්ටුව තීරුවලට ඉරන්නට පහසු වන පරිදි ඇගිලි පුරුක්වලින් මැන කපන ස්ථාන ලකුණු කල සුමතිපාල කැපුම්වලට මුල පුරා රෙට්ටුව සාමාන්‍ය පරිදි බිම එළා නිදාගත්තේය.
සති තුනක් වැඩ කළ ඔහු ගල ගලවා ඇතුලට ගන්නට සමත් විය. අවට පිරිසිදු කොට නැවතත් ගල පෙර පරිද්දෙන්ම රදවා එදින වැඩ කටයුතු අවසන් කළේය. පසුදින තීරණාත්මක රාත්‍රිය එළැඹියේය. සුමතිපාල හොද ශක්තිමත් කොක්කක් තිබූ කොට්ටු බාල්දියට තමාගේ වතුර සලාකයද ගෙන හැන්දෑවේ ගනන් කිරීමෙන් පසු සිර මැදිරියට වැදුණේය. අවසන් ගනන් ගැනීම සිදු කරන නිලධාරියා මැදිරියට එබී බලන අවස්ථාවේ තද නින්දේ පසුවන ඉරියව්වක සිටි සුමතිපාල ඊළග නිමේෂයේ නැගිට වහ වහා ක්‍රියාත්මක වන්නට විය. රෙට්ටුවෙන් අඩක් තීරු තීරුවලට ඉරාගත් ඔහු ඒවා ශක්තිමත් කඹයක් ලෙස ගොතන්නට විය. විනාඩි 30 ක පමණ කාලයක් තුල අඩි 12 ක් පමණ ශක්තිමත් කඹයක් සාදා ගන්නට ඔහුට හැකි විය. බාල්දි කොක්ක පන්නා එය කඹය අගට ගැට ගැසූ ඔහු ගල ගලවා එළියට ගියේය.
නිසොල්මනේ තාප්පයට කිට්ටු කල සුමතිපාල බාල්දි කොක්ක තාප්පය මතට විසි කර සිර කරගත්තේය. අනතුරුව අඩියට දෙකට තාප්පය මුදුනට ලගා විය. බැම්මට නැග බාල්දි කොක්ක අනෙක් අතට සිරකොට කඹය පහළට දමා බිමට රූටා වැටුනේය. ඔහු සිටියේ බෝගම්බර පිටියට නුදුරින් වූ ලදු කැලෑවේය. (දැන් එය නැත) එතනින් අතුරු පාරක් සොයාගත් ඔහු ගරාජයක සේවකයෙක් වේලෙන්නට දමා තිබූ ඇදුම් කීපයක් සොරාගෙන ගන්නෝරුව දුම්රිය ස්ථානය දක්වා ගියේය. නුවර සිට පැමිණි බඩු දුම්රියක් එහි නැවැත්වූ අතර එහි කෙළවර එක් මගී පෙට්ටියක් පමණක් අමුනා තිබුණේය. සුමතිපාල ගන්නෝරුවෙන් එයට නැග වනවාසලදී දුම්රියෙන් බැස හිරගෙදරදී හදුනාගත් මිතුරකුගේ නිවෙසට ගියේය. එහි දින දෙකක් ගතකොට ඔහුගෙන් මුදල් අතමාරුවක්ද කරගෙන පසුව වාද්දූව ප්‍රදේශයේ මිතුරකුගේ නිවෙසට ගියේය.
කුසුමා නැගණිය දූෂණය කර මරා දමන්නට හවුල් වූ කළුතර ගුරුවරයා සොයා ඔහුට දඩුවම් පමුණුවන්නට දෛවය සුමතිපාලට නියම කර තිබේ. කණිටු පාසලක විදුහල්පතිවරයකු වූ ඔහු පොලිස් පරීක්ෂකවරයාට නැගණිය ගැන ඔත්තු සපයා පසුදින මීගමුව කොච්චිකඩේට ගොස් ඇයව දූෂණය කරන්නටද සහභාගි වී තිබේ. එබැවින් ඔහුට දඩුවම් කල යුතුමය.
මිතුරාගෙන් පා පැදියක් ඉල්ලාගත් සුමතිපාල කළුතර නගරය මගහැර අතුරු පාරවල් ඔස්සේ අදාළ විදුහල්පතිවරයාගේ වංහුං සොයා බණ්ඩාරගම පාරේ සැරිසැරුවේය. දින කීපයක් ඇවෑමෙන් ඔහුට තමා සොයන ගොදුර හමුවිය. පරගස්තොටට ගොස් ගුරුවරයාගේ නිවෙස සොයාගත් සුමතිපාල එම නිවෙසින් වතුර වීදුරුවක්ද ඉල්ලාගෙන පානය කොට ආපසු පැමිණියේය.
බන්ධනාගාර මිතුරාගේ නිවසේ සතියක් නතරව සිටි සුමතිපාල ඊලග කාර්යය සදහාද කටයුතු සැලසුම් කළේය. ඔහුගේ මිතුරා ඒ දිනවල ළිදක් කපන්නට මුලපුරා තිබුනේය. ඔහු මිතුරා සමග හරි හරියට මහන්සි වී ළිද කැපුවේය. සති අන්තයේ දිනක මිතුරාගෙන් ගමන් වියදම් ඉල්ලාගත් ඔහු වනවාසල දුම්රිය ස්ථානයෙන් දුම්රියක නැග මීගමුවට ගියේය. කිසිවෙකුට නොදැනෙන්නට, නොහැගෙන්නට කොච්චිකඩේට ගොස් නැගණිය පැහැරගෙන විත් රදවාගෙන සිටි නයගරා ගෙස්ට් හවුසිය සොයා ගන්නට උත්සාහ කළේය. එය සොයා ගැනීම එතරම් අසීරු කරුණක් නොවීය. අසළ කුඩා තේ කඩයක මුදලාලි කෙනෙකු සමග කථාවට වැටුනු ඔහු දැනගත්තේ තානායමේ කෙරෙන වල්කම් පළාත පුරා ප්‍රසිද්ධ බවත්, පෙත්සම් ගැසුවද කිසිවක් නොවූ බවත්ය. තමා හිස ගසා දැමූ අයි.පී ගේ නංගි බැදපු මස්සිනාගේ ගෙස්ට් හවුසිය මෙය බව සහතිකවම දැන ගත්තේය. පසුව ඒ අසළ ගැවසී තානායමේ අයිතිකරු දැකබලා ගත්තේය. ඔහුගේ හැඩරුව නිරීක්ෂණය කොට ආපසු වනවාසලට ගියේය.
එතැන් සිට දෙවැනි දිනයේ දඩයම් ගමන අරඹන්නට තීරණය කල ඔහු මිතුරාගේ කලිසමක් සහ කමිසයක් ඉල්ලා ගත්තේය. තරමක් පැරණි ගමන් බෑගයක්ද මුදලින් රුපියල් 600 ක්ද මිතුරා සුමතිපාලට දුන්නේය. වැදගත් මගියකු ලෙස වෙස්වළාගත් සුමතිපාල වනවාසලින් පිටත්වූ දිනයේම මධ්‍යහ්නයේ කොච්චිකඩේ හන්දියෙන් බැස නයගරා ගෙස්ට් හවුස් වෙත ගියේය. රාත්‍රියේ නැවතී පසුදින උදෑසන ආපසු යාමට කාමර ගාස්තුව එකල අය කලේ රු 100 කි. සුමතිපාල එක් රැයක් පමණක් එහි නවාතැන් ගන්නා බව කීවේය.
සේවකයෙක් කාමරය පෙන්නන්නට ඔහු කැටුව ගියේය. එහි තරමක් වටිනා රන් පැහැති දොර අගුලක් දැමූ කාමරයක් තිබුණේය. සුමතිපාල ඒ කාමරේ දෙන්නැයි ඉල්ලා සිටියේය. මහත්තයා, එ්ක අපේ මුදලාලිගෙ කාමරේ, ඒක පිට අයට දෙන්නෙ නෑ. සේවකයා කීවේය. සුමතිපාල මුදලාලිගේ කාමරයට යාබද කාමරයේ නවාතැන් ගත්තේය. දිවා ආහාරයද තානායමෙන්ම ගෙන. ගමන් මල්ල එහිම තිබෙන්නට හැර කලිසමෙන් හා කමිසයෙන් සැරසී කාමරයේ යතුරද රැගෙන ආලින්දයට පැමිණියේය. ඒ වන විටත් මුදලාලි පැමිණ සිටියේ නැත. ගරාජයේ මෝටර් රථය නොවීය. කොච්චිකඩේ හන්දියට ගිය ඔහු එහිදී හලාවත බසයකට නැගුනේය.
වයික්කාල කඩමණ්ඩියේ ලංකාවේ සුප්‍රසිද්ධ පිහි වෙළෙන්දෝ සිටිති. පාර දෙපැත්තේම පිහි කඩ තිබේ. සුමතිපාල පිහි මැස්සක් ලග නතර වී සිය රාජකාරියට සරිලන පිහිය කුමක්දැයි මන්නා පිහි, වක් පිහි, දික් පිහි, මේස පිහි, මස්කඩ පිහි, මාළු කපන පිහි ආදිය අතර දෙනෙත් එහා මෙහො යැව්වේය. තරමක් දිග මිටක්ද සහිත දිලිසෙන මුවාතකින් යුතු තලයක් සහිත මන්නා පිහියක් ලග ඔහුතේ දෙනෙත නතර විය. එය මිළට ගත් ඔහු සිමෙන්ති උරයකින් එය ඔතාගෙන තානායමට යාමට පෙර දෙමළ චිත්‍රපටියක්ද නැරඹීය. රාත්‍රී 9.30 ට චිත්‍රපටය අවසන් විය. රාත්‍රී ආහාරය කඩයකින් ගත් ඔහු නැවත තානායමට ගියේය. තානායමේ ගරාජයේ මෝටර් රථයක් නවත්වා තිබේ. ඒ දහවල් මිදුලේ නවත්වා තිබූ තානායම් අයිතිකරුගේ මෝටර් රථය බව ඔහු හැදින ගත්තේය.
හිතුමතේ තමාගේ කාමරය හා මුදලාලිගේ කාමරය හැදිනගෙන තානායමේ වහළයට නැග උළුකැට කීපයක් ඉවත් කිරීමෙන් පසු මුදලාලිගේ කාමරයට විවෘත වන නාන කාමරයට බැස්සේය. නානකාමරයේ දොර මදක් විවර කල විට කාමරයේ දෙදෙනෙකු සිටින බව පෙනිණි. පිරිමියා නිරුවතින් ඇදේ දිගා වී සිටියේය. හිතුමතේ ඔහුට ළං වන විට ඔහු හොරෙක් හොරෙක් යයි කෑ ගැසීය. සුමතිපාල හොදින් නැවී තානායමේ අයිතිකරු කළුතර අයී. පී මහතාගේ මස්සිනා බව නිසැක ලෙස හදුනා ගත්තේය.
යකෝ මම කුසුමාවතීගේ අයියා සුමතිපාල යැයි මන්නා පිහිය ඔසවමින් සුමතිපාල ශබ්ද නගා කීවේය.
ඊලග නිමේෂයේදී මන්න පිහි පහර විදුලි වේගයෙන් තානායම්කරුගේ ගෙල මත පතිත වූයේය. කදින් වෙන්වූ හිසත් කවන්ධයත් පසෙකට ඇලවී ගියේය. තානායම්කරුගේ සිරුරට යටවී හුන් ළාබාල කෙල්ලගේ කෑ ගැසීම මැද සුමතිපාල තානායම්කරුගේ බොකුටු කොණ්ඩයෙන් අල්ලා හිස වම් අතට ගෙන කාමරයේ දොර හැර දකුණතින් ගත් මන්නා පිහියත් සමග මිදුලට පැන්නේය. ගේට්ටුවෙන් පාරටද පැනගත් සුමතිපාල සුළු වෙලාවක් තුල කොළඹ – පුත්තලම පාරේ මීගමුව දෙසට වේගයෙන් ගමන් කරමින් සිටියේය.
ඔහු යමින් සිටියේ තෙල්වත්ත පොලිස් මුරපොල දෙසටය. පාන්දර නිසා මහා මාර්ගය පාළුවට ගොස් තිබුනි. නමුත් කිලෝමීටර් 7 ක් පමණ මග ගෙවා තෙල්වත්ත පොලිස් මුරපොළ ආසන්න වන විට මග දිගට කීප දෙනෙක් මිනිස් හිසක් හා පිහියක් අතින් ගත් අයෙකු පාරේ යන බව දැක තිබුනි. මුරපොළ අසළට ගිය ඔහු පිහිය හා හිස එහි තබා ක්ලාන්තව වැටිනි. පොලිස් නිලධාරියකු තමන් පානය කරන්නට ගෙනැවිත් තිබූ වතුර බෝතලයක් සුමතිපාලගේ හිස මත වත්කළේය. සීතල වතුර සිරුර පුරා ගලායන විට සුමතිපාල නැවත ප්‍රකෘති සිහියට පැමිණියේය.
මේ සිදුවීමෙන් පසු හිතුමතේ අනුරාධපුර බන්ධනාගාරයට යවනු ලැබිණි. ඔහුට දෙවන වර පැන යාමට උපකාරී වූයේ 1971 කැරැල්ලයි. අත්අඩංගුවට ගත් පිරිස් එන්න එන්නම වැඩිවීම නිසා අනුරාධපුරය බන්ධනාගාරය තුල තදබදය එන්න එන්නම වැඩි වී පහසුකම් අවම විය. එවැනි තත්වයක් තුල සිරගෙදරින් පැනයාම සුමතිපාලගේ පමණක් නොව බොහෝ දෙනාගේ අවශ්‍යතාවයක් බවට පත්වෙමින් පැවතියේය.
ජ.වි.පෙ ට සම්බන්ධ කීප දෙනෙක් පැන යන්නට තීරණය කර පැනයන ප්‍රථම කණ්ඩායමද සංවිධානය කළහ. ජ.වි.පෙ සාමාජිකයන් සමග මරු සිරා සමීප ඇසුරක් පැවැත්වූ නිසා ඔහු ඊට සම්බන්ධ විය. හිතුමතේ මරු සිරාගේ මිතුරා නිසා ඔහු ද එයට සම්බන්ධ විය.
මරු සිරාගේ කණ්ඩායමට පැවරූ වැඩ කොටසට සුමතිපාල ද සහාය වූයේය. ඉවත දැමූ මලකෑ දිරාපත්වූ බාල්දි ගොඩක් මුල්ලක තිබිණි. ඉන් පන්නාගත් බාල්දි කොකු දිග හැර බිම උරච්චි කරමින් තුඩ මුවහත් කොට කුඩා හෙල්ලක් මෙන් සකසා පස් යට සගවා තබන්නට ඔව්හු කටයුතු කලහ. දින කීපයක් තුල උල් යකඩ කූරු 15 ක් තනා අවසන් කොට පස් යට තැන්පත් කෙරිණි.
ප්‍රහාරය ආරම්භ කිරීම සදහා ජ.වි.පෙ සාමාජික හීන් බණ්ඩා උපදෙස් දී තිබුනේ උදෑසන ප්‍රධාන දොර සම්පූර්ණයෙන් විවෘත වන වෙලාවටය. දිනය තෝරා ගැනිණි. එදින උදෑසන කෑම පෝලිමේ සිරකරුවන් වැඩි පිරිසක් සිටින අවස්ථාවක යොදවා සිටි ඔත්තුකරුවකු විසින් ප්‍රධාන දොර අරින බවට සංඥාව ලබාදෙන ලදී. 15 ක පමණ කණ්ඩායමක් ගේට්ටුව දෙසට දිව ගියහ. ඔවුන් ඇතමකු අත ඉතා තියුණු උල් සහිත හෙල්ල තිබිණි.
ජේලර්ලා පිරිසක් බැටන් පොලු ඇතැතිව ඔවුන්ට හරස් කැපූ නමුත් යකඩ උල්වලින් පෙරළා පහරදුන් විට තත්වය පාලනය වූයේය. නිල් පැහැති බන්ධනාගාර වෑන් රථයක් ප්‍රධාන දොර ඇතුලත කාර්යාලය අසල නතර කර තිබුණේය. කිසිවෙක් එය පණගැන්වීය. ආයුධ රාක්කයට කඩා පැන්න කීප දෙනෙක් අගුළු කඩා තුවක්කු හත අටක්ම බෙදා ගත්හ.
ආයුධ දුටු ජේලර්ලා පසු බැස ගියහ. වෑන් රථය පිටත්වන විට සිරකරුවෝ තිස් තුන් දෙනෙක් එහි නැග සිටියහ. මරු සිරාත් ලයනලුත් තුවක්කු ඇතැතිව පැති දොරේ එල්ලී ගමන් කළහ.
සුමතිපාල රිපීටර් තුවක්කුවක් අල්ලාගෙන සිටියේය. එක් සිරකරුවෙකු වහල මත වාඩිවී හුඩ්රැක් එක අල්ලාගෙන සිටිනු පෙනිනි. විලච්චිය පාර දෙපස මිනිස්සු දෑත් හිසේ බැද තුෂ්ණිම්භූතව බලා සිටියහ.
අනුරාධපුර සිරගෙදරින් එළියට පැමිණි වෑන් රථය විලච්චිය පාරට වැද වේගයෙන් ධාවනය වූයේය. වෑන් රථය වංගුවක් ගනිද්දී එහි පසුපස දොර ගැලවී විසිවී ගියේය. පසුව සැතපුම් 8 පමණ ඉදිරියට ගිය වාහනය පාර අයිනේ වූ තරමක් විශාල වීර ගසක හැපී නතර විය. සිරකරුවෝ මල්වතු ඔයට උතුරින් වූ වනාන්තරයට රිංගා ගත්හ. මරු සිරා, ලයනල් සහ සුමතිපාල එදිනම සෙසු පිරිසගෙන් සමුගෙන පුලියන්කුලම කැලයට මාරු වූහ. ජ.වි.පෙ සාමාජිකයෝ ඉදිරියට ගොස් ඒ වන විටත් වනගතව සිටි ජනතා විමුක්ති පෙරමුණේ කණ්ඩායම් සමග එකතු වූහ. (සෝමපාල,ගුරුසිංහ සහ ලොකු බණ්ඩාර ඒකනායක යන ජ.වි.පෙ නායකයෝ එකල තන්තිරිමලය අවට කැලයේ කදවුරුබැද සිටියහ. පසුව ජ.වි.පෙ පිරිස් වඩා සංවිධානාත්මක ලෙස දෙවන ඵ්‍රිසොන් බ්‍රේක් එකක් සැලසුම් කල අතර අනුරාධපුර සිරගෙයි උන් විශාල පිරිසක් බේරා ගනු ලැබිණි)
සුමතිපාල මරු සිරාගෙන් සමු ගෙන හේන් ගොවියෙකු සේ වෙස් වළාගෙන පැමිණ ගල්ගමුවේ මිතුරකුගේ නිවසේ දින දෙකක් නතරව සිටියේ සිරගෙය කඩා පලායෑමේ කථාව යටපත් වනතුරුය.
දෙවැනි පලායෑමේ මෙහෙයුම ආරංචි වන විට සුමතිපාල කළුතර වස්කඩුවේ මිතුරකුගේ නිවෙසට පැමිණ සිටියේය. සිය පියාද මිය ගිය බව ඔහුට අසන්නට ලැබුනි. නංගීත්, අම්මාත්, තාත්තාත් ඇතුළු ඔහුගේ පවුල නැවත හමුවිය යුත්තේ මෙලොව නොව එලොවදීය. ඊට පෙර නංගිව දූෂණය කල කළුතර විදුහල්පතිවරයාත්, හලාවත ආරච්චිකට්ටුවේ මස් කඩ මුදලාලිත් සමග ගණුදෙනු බේරා ගන්නට තිබේ.
සුමතිපාලගේ මිතුරා ඔහුගේ බිරියට සුමතිපාලව හදුන්වා දුන්නේ අනුරාධපුර පළාතේ සිට පැමිණි දුර බැහැර ඤාතියෙකු හැටියටය. එබැවින් දින කීපයක් එම නිවෙසේ ගතකිරීමට අපහසුවක් නොවීය. මිතුරාගේ බයිසිකලය ඉල්ලාගත් සුමතිපාල පරගස්තොට පැත්තට බයිසිකලය පැදගෙන ගොස් කලින් දැන සිටි මංසලකුණු ඔසසේ ගොස් නංගි දූෂනය කර මරාදැමීමට සහාය වූ විදුහල්පතිවරයාගේ නිවෙස සොයා ගත්තේය. එම නිවෙස පැරැණි පන්නයේ එකකි. වත්ත තරමක් විශාලය. කෙසෙල් වගා කර තිබේ. සුමතිපාල නිවෙසට වැටුණු සුදු වැලි පාර ඔස්සේ මිදුලටම බයිසිකලය පැදගෙන ගියේය. ගුරුවරයාගේ බිරිය යැයි සිතිය හැකි කාන්තාවක් ආලින්දයට පැමිණියාය.
නෝනා කෙසෙල් කැනක් දෙකක් කපාගන්න පුලුවන්ද කියලයි බැලුවේ.
සුමතිපාල අහිංසක ලීලාවෙන් ඇසුවේය. මෙහේ කෙසෙල් කැන් නැතැයි ඇය පිළිතුරු දුන්නාය. මේ අවස්ථාවේ මෝටර් සයිකලයකින් විදුහල්පති ගුරුවරයාද එහි ආවේය. ඔහුගේ පෙනුම මනාව හිතට ගත් සුමතිපාල පිටත් විය.
පසුදින සුමතිපාල නැවත සයිකලයට නැගී පයාගල රේන්ද වාඩියකට ගියේය. එහි අයිතිකරු හිතුමතේගේ පියා හදුනන නමුත් සුමතිපාල මතක නැත. වාඩියෙන් මල් කපන පිහියක් ඉල්ලාගත් ඔහු එදින දවස ගෙවෙනතුරු එහෙ මෙහෙ රස්තියාදු වී රාත්‍රී 10 ට පමණ ගුරුවරයාගේ නිවසට ගියේය. වත්තේ කොනක සැගවී සිටි ඔහුට නින්ද ගියේය. පනිට්ටුවක් සෙලවෙන ශබ්දයෙන් ඇහැරුණු ඔහු විදුහල්පතිවරයා බාල්දියක්ද රැගෙන වැසිකිළිය දෙසට යමින් සිටිනු දුටුවේය. වැසිකිළි දොර වසාගත් පසු සුමතිපාල එක් අතකින් පිහියද ගෙන පොල් පිත්තක් බිත්තියට තබා ඒ මත නැගී කවුළුවෙන් වැසිකිළිය තුළට එබී බැලුවේය. පිහිය සහිත අතද ඇතුළට ගත්තේය.
වැසිකිළිය තුල සිටි මිනිසා ඔහුගේ හිසට වැලි සහ බදාම කැට වැටීම නිසා උඩ බැලුවේය. කුප්පි ලාම්පුවේ එළයෙන් සිහින් උඩු රැවුලක් සහිත මනමාල මුහුණ සුමතිපාල හැදිනගත්තේය.
කවුද යකෝ මේ ? විදුහල්පති කෑ ගැසුවේය.
මම තොපි මරාදාපු කුසුමාවතීගේ අයියා…. සුමතිපාල මොර දුන්නේය.
ඊළග මෙහොතේ ඇසිල්ලකින් වැසිකිළියේ දොර අරින්නට නැගී සිටි මිනිසාගේ ගෙල හරහා මල් කපන පිහිය ඇදී ගියේය. කවන්ධය වැසිකිළිය තුලම වැටුන අතර හිස වැසිකිළියෙන් පිටතට විසිවී ගියේය. සුමතිපාල එක් අතකින් කෙස්වැටියෙන් අල්ලාගත් හිසත් අනෙක් අතින් ගත් ලේ තැවරුනු පිහියත් රැගෙන දර මඩුව අසලට ගොස් සයිකලයද ගෙන එහි දමාගෙන ආ ගෝනියක් ලෙහා හිසත් පිහියත් ඒ තුලට දමා බැද ගත්තේය.
බණ්ඩාරගම ප්‍රධාන පාරට පැමිණි ඔහු කළුතර දෙසට වේගයෙන් සයිකලය පැද ගියේය. පොලිස් අධිරීවරයාගේ නිල නිවාසය අසලට එන විට වෙලාව උදෑසන 6.00 පසු වී තිබුනේය. හිතුමතේ ඒ වන විට දහදිය දමා දියබත්ව උන්නේය. අලුයම ව්‍යායාම සදහා බැහැර සක්මනෙහි යෙදුනු සහකාර පොලිස් අධිකාරී තැන අරින ලද ගේට්ටුව අතරින් නිල නිවෙසට ඇතුලු වෙමින් සිටියේය.
ඔහු පසුපසම ගේට්ටුවෙන් ඇතුළු වූ සුමතිපාල සයිකලය නවත්වා ඔන්න මහත්තයෝ මම අනිත් එකාවත් ඉවර කෙරුවා යැයි ගෝනිය ලෙහා හිස එළියට ගත්තේය.
කළුතර මිනී මැරුමේ මූලික විමර්ශන අවසන් වන තුරු කෙටි කාලයක් කළුතර බන්ධනාගාරයේ සිටි සුමතිපාල නැවත වැලිකඩ බන්ධනාගාරයට මාරු කෙරිණි. වැලිකඩදී ඔහුට සිරිපාල එනම් මරු සිරා අනුරාධපුර විජයපුර වතුර ටැංකිය අසල වෙඩි වැදී වැටී සිටියදී අල්ලාගනු ලැබූ බව අසන්නට ලැබිණි. මරු සිරා සියදිවි නසා ගැනීමට වෙඩි තබාගෙන සිටියත් ඔහු මියගියේ නැත.
සුමතිපාලගේ කැරැට්ටුව දන්නා පැරණි සිරකරුවන් අතර ඔහුට කිසියම් ගෞරවයක් හා සැලකිල්ලක් තිබුනේය.
සුමතිපාලට මෙන්ම සුපිරි වැඩකාරයන් සේ සැලකූ ඇතැම් වැඩකාරයන්ට කෑම පෝලිමේදී මස් කෑල්ලක් වැඩිපුර ලැබුනේය. එවැන්නෝ සමහර විට විවිධ හේතු දක්වමින් බන්ධනාගාර රෝහලේම සිටියහ. නමුත් සුමතිපාල සාමාන්‍ය සිරකරුවන් අතරම සිටියේය. සුමතිපාලට හිතවත්කම් දක්වන සිරුකරුවෙක් දිනක් සවස් භාගයේ ඔහු වෙත පැමිණ රහසක් කනේ තැබුවේය. ඉන් කියැවුනේ ලගදි ඇතුළට පැමිණි සිරකරුවකු සුමතිපාල ගැන විස්තරයක් තමාගෙන් ඇසූ බවත් මාසයක් පමණ කෙටි අච්චුවකට ඔහු සිරගෙට පැමිණ ඇති බැවින් ටිකක් සැලකිල්ලෙන් පසුවීම නුවණට හුරු බවත්ය.
පසුදින යහළුවා සුමතිපාලට සැක සහිත සිරකරුවා පෙන්වා දුන්නේය. ඔහු වෙනත් කිසිවකු හා කතාකරමින් සිටයදී සුමතිපාල ඔහු හොදින් නිරීක්ෂණය කර ගත්තේය. හෙතෙම ආගන්තුක තැනැත්තා පිළිබද විස්තර සොයා බැලුවේය. හෙතෙම ජා-ඇල ප්‍රදේශයේ අයෙකි. නම ලක්ෂ්මන්ය. කොන්ත්‍රාත්තුවට මිනී මරන පාතාලකාරයෙකි. නමුත් මෙවර සිරගෙයි සිටින්නේ ගංජා සමග පොලීසියට හසුවී වරද පිළිගෙන උසාවියෙන් නියම කල දඩය නොගෙවා සිරගත වීමෙනි.
එම තොරතුරු එතරම් යහපත් නැත. සමහර විට කොච්චිකඩේ ගෙස්ට් හවුස්කාරයාගේ ඥාතීන් හෝ තවමත් තමා සොයමින් සිටින ආරච්චිකට්ටුවේ ජස්ටින් මස්කඩ මුදලාලි හෝ තමා මරා දැමීම සදහා මේ පුද්ගලයා බන්ධනාගාරයට දැම්මා වෙන්නට පුළුවන. ලක්ෂ්මන් කිසිවිටෙක සුමතිපාල හා කථාබහ නොකළේය. එහෙත් නිතරම තමා පෙනෙන තෙක් මානයේ සිටීමට ඔහු වෑයම් කරන බව සුමතිපාලට ඒත්තු ගියේය. ගංජාකාරයාගේ අච්චුව අවසන් වීමට තිබුනේ තවත් දින 14 කි. ඔහු තුල නොඉවසිල්ලක් වැඩෙන බව සුමතිපාලට වැටහුණේය.බොහෝවිට සුමතිපාලගේත් ගංජා ලක්ෂ්මන්ගේත් ඇස් එකිනෙක හමුවූ අතර දෙදෙනාම වහා ඉවත බලාගත්හ. ඔහු ඉව අල්ලමින් සිටින්නේ නිසැක ලෙසම තමා නින්දට පත්වන මොහොතක් අල්ලා ගන්නට බව සුමතිපාල දැන සිටියේය. රාත්‍රී කාලයේ සුමතිපාලත් ලක්ෂ්මනුත් වැසුනේ තවත් සිරකරුවන් 40 ක් සමග විශාල ෂෙල් එකකය. බොහෝ විට සුමතිපාල නිදාගත්තේ නැත. අඩ නින්දේ නමුත් සෑම මෙහොතක්ම සෝදියෙන් පසු වූවේය. මේ පුද්ගලයාට අහේතුකව ප්‍රහාරයක් එල්ල කරන්නටත් බැරිය. පැමිණිලි කිරීම එක අතකට මදිපුංචි කමකි. අනෙක් අතට ඒ සදහා ඔප්පු කල හැකි කිසිදු සාක්ෂියක්ද නැතිය.
සුමතිපාල එන ඕනෑම තත්වයකට තමාම මුහුණ දෙන්නට තීරණය කළේය. ගංජා ලක්ෂ්මන් අත කිසිදු අවියක් හෝ පහරදිය හැකි උපකරණයක් පෙනෙන්නට නැති බවත් හිතුමතේ නිරීක්ෂනය කළේය. ලක්ෂ්මන් නිදහස් වී යන්නට තවත් තිබුනේ දින 4කි. දින තුනක්ම සුමතිපාල ඇහැක් පියෙව්වේ නැත. තමාට අතක් තිබ්බොත් අපායට යතත් ඒකාවත් අරගෙන යනවා යැයි සුමතිපාල සිතා ගත්තේය. අවසන් දින අවසන් රාත්‍රිය උදා විය.
සුමතිපාල අළුයම් යාමය පැමිණෙනතුරු අසීරු රාත්‍රිය නොනිදා පහන් කළේය. ඒ වන විටත් ඔහු දින තුනක් නිදි වරා සිටියේය. අලුයම 4 පසුවූ පසු ඔහු නින්දට පරාජය වූවේය.
සුමතිපාලගේ පියවුණු දෙනෙතට තමා වෙත වේගයෙන් පතිත වන කිසියම් ඡායාවක් දැනුනේය. විදුලි වේගයෙන් කිසිවක තියුණු තුඩක් සුමතිපාලගේ වම් ඇස අසළින් කිදා බැස්සේය. ඇසෙන් එළියට පැන්න උණුසුම් ලේ දහරාවක් මුහුණ පුරා පතිත වූවේය. දෑස් අන්ධකාරයේ ගිලී තිබියදී විදුලි වේගයෙන් නැගී සිටි සුමතිපාල එසේ නැගිටිමින්ම ඇසට කිදා බැස තිබූ යකඩ කූර තම අතින් ඉවතට ඇද තමා වෙත නැඹුරු වී සිටි මිනිසා පෙරළාගෙන ඇනගෙන ඇනගෙන ගියේය. ඔහුගේ මුහුණ ලෙයින් පෙගී තිබුණේය. ඔහු උල් පහර එල්ල කලේ කිසිවක් නොපෙනී අදුරේය. මහා ගාලගෝට්ටියකින් සෙසු සිරකරුවන් සුමතිපාල අල්ලා මේච්චල් කරන විට සුමතිපාලගෙන් පහර කෑ මිනිසා ලේ විලක මැරී සිටියේය. ඒ අන් කිසිවකු නොව ජා-ඇල ගංජා ලක්ෂ්මන්ය.
හදිසි මරණ පරීක්ෂණයේදී හෙළි වූයේ සුමතිපාල ලක්ෂ්මන්ට තියුණු යකඩ උලකින් 46 වාරයක් ඇන ඇති බවය. සුමතිපාලගේ ඇස කෙළවරට එල්ල වූ පහර උඩුතල්ල දක්වා අගල් දෙකක් පමණ ඇතුලට බැස තිබුනේය. සිරගෙට පැමිණි මාරයා සුමතිපාලට කොකා පෙන්වා ලක්ෂ්මන්ව කැදවාගෙන ගොස් තිබුනේය.
කොළඹ නයනාරෝග්‍ය ශාලාවේත් ජාතික රෝහලේත් මාසයකට ආසන්න කාලයක් සුමතිපාල ප්‍රතිකාර ලැබුවේය. යකඩ කූර වම් අැසට දශම කීපයක් ඔබ්බෙන් කිදා බැස තිබූ හෙයින් ඔහුට පෙනීම සම්බන්ධ ගැටලුවකට මුහුණපාන්නට සිදු වූයේ නැත. උඩුතල්ල සිදුරු කරමින් ඇති වූ තුවාලයද ක්‍රමයෙන් සුවපත් විය. ඔහු යළිත් වැලිකඩ සිරගෙදරටම එවනු ලැබිණි.
තමා මරා දැමීම සදහා ලක්ෂ්මන් බන්ධනාගාරයට එවූයේ කවුදැයි යන ප්‍රශ්නය නිරාකරණය කර ගැනීමට සුමතිපාලට හැකි විය. පුත්තලම් පාරේ මස්කඩ කීපයකම හිමිකරුවකු වූ ආරච්චිකට්ටුවේ ගැස්ටන් මුදලාලි මේ සිදුවීම පසුපස සිටියේය. ගැස්ටන් කොච්චිකඩේ ගෙස්ට් හවුස් අයිතිකාරයකු වූ කළුතර පොලිස් පරීක්ෂකගේ මස්සිනාගේ මිතුරෙකි.
කුසුමාවතී වනාතවිල්ලුවට රැගෙන ගොස් ඝාතනය කරන්නට මග පෙන්වා ඇත්තේ ඔහුය. දැන් සුමතිපාල මරා දමන්නට ගොස් පොල්ල වරද්දා ගැනීම නිසා ගැස්ටන් මුදලාලිගේ ඉරණම තව දුරටත් තීන්දු වී තිබේ.
ශල්‍යකර්ම කීපයකටම යොමු කිරීමෙන් පසු සුවය ලැබූ සිරා නොහොත් සිරිපාල සුවය ලබා නැවතත් අනුරාධපුර බන්ධනාගාරයටම මාරු කරනු ලැබුවේය. නැවතත් හිතුමතේ, මරු සිරා සහ ලයනල් අනුරාධපුර බන්ධනාගාරයේ විශේෂ ආරක්ෂිත සිරකරුවන් රදවන කොටසේ රදවනු ලැබ සිටියහ. එය සුමතිපාලට මහත් සතුටක් වූයේ මරු සිරාත් ඔහුත් දෙදෙනාම එලොව ගොස් මොලොවට පැමිණ සිටීම නිසාය.
නඩු විභාග වූ සෑම දිනකම සිරිපාල, සුමතිපාල හා ලයනල් ඇතුළු සිරකරුවෝ ආරක්ෂක මුරකාවල් ඇතිව බන්ධනාගාර රියකින් උසාවියට ගෙන යනු ලැබූහ. මරු සිරා ගැන ඒ වන විටත් ලැබී තිබූ ප්‍රසිද්ධිය නිසා උසාවි ගෙන එන සිරකරුවන් බැලීමට සමහරු මිරිසවැටියේ සිට උසාවිය දක්වා මග රැක සිටියහ.
පලා යෑමේ නඩුවට අච්චු නියම කරන දිනයද පැමිණියේය. එම දිනය පසුවූ විට සුමතිපාල නැවතත් වැලිකඩ යවනු ඇත. ඊට පෙර සිරගෙයින් පලායෑම ඥානාන්විත වේ යැයි සුමතිපාල කල්පනා කලේය. කොළඹ යැවුවහොත් සිරගෙයින් පලා යාම දුෂ්කර වනු ඇත. එබැවින් සිදුවන්නක් සිදුවිය යුත්තේ අනුරාධපුර බන්ධනාගාරයේදී විය යුතු යැයි සුමතිපාල විශ්වාස කළේය.
මේ අතර සිරිපාලගේ මිනිමැරුමේ නඩුවෙන් අනිවාර්යෙන්ම මරණ දඩුවම හිමිවනු ඇතැයි සිරිපාල කල්පනා කලේය. එබැවින් ඊට ප්‍රථම අවස්ථාව ලද සැනෙන් පලා යා යුතුය. නැතහොත් අනිවාර්යෙන්ම පසුතැවිල්ලට හේතුවනු ඇත. සිරිපාල පලා යා යුතු බවට වූ පණිඩුඩය සුමතිපාලගේ කණේ තැබුවේය. ඔහු එක හෙළා ඊට කැමැත්ත පල කළේය.
ඔවුන් සමග එකට උසාවි ගෙනයන සීමන් සිල්වා කලක් කොළඹ කොටහේනේ පදිංචිව සිටි බෝම්බ මාස්ටර් කෙනෙකි. බෝම්බ සෑදීම සහ දමා ගැසීම පිළිබද සීමන් සිල්වා ලද විශේෂඥ පුහුණුවේ ප්‍රතිඵල ලෙස ඔහුගේ එක් අතක මහපට ඇගිල්ල සහ දඹර ඇගිල්ල නැත. ඇගිලි අඩු සීමන්ට ඕනෑම අවස්ථාවක අත උල්කොට මාංචුව පන්නා ගත හැකිය. සදුදා උදෑසන නඩුව විභාගයට ගනී. සිරිපාල මහාධිකරණයටත් සුමතිපාල සීමන් සිල්වා සහ පියසේන මහේස්ත්‍රාත් උසාවියටත් ගෙන යා යුතුය.
එක සදුදාවක සාමාන්‍යයෙන් ඔවුන් ප්‍රවාහනය කරන රථය ආපදාවකට ලක් වී තිබිණි. බන්ධනාගාරයේ ඇති කුඩා වෑන් රථය ප්‍රමාණවත් වන්නේ පොල් පටවන්නාක් මෙන් රිමාන්ඩ් සිරකරුවන් පටවාගෙන යන්නටය. මරු සිරා ඇතුළු විශේෂ ඝනයේ සිරකරුවන් වඩා ආරක්ෂිතව රැගෙන යා යුතු බැවින් එවැනි අවස්ථාවකදී අනුරාධපුර බන්ධනාගාරයේ සාමාන්‍ය පිළිවෙත වූයේ අනුරාධපුර ටවුමෙන් පුද්ගලික කුලී මෝටර් රථයක් ගෙන්වා විශේෂ සිරකරුවන් උසාවි ගෙන යෑමය. නිතර බන්ධනාගාරයට කැදවන 4 ශ්‍රී ඔස්ටින් කාර් රථයක් හිරගෙදරට පැමිණියේය.
සිරිපාල, සුමතිපාල, සීමන් සිල්වා සහ පියසේන එහි පසුපස අසුනට නංවා දොරවල් ලොක් කෙරිණි. රිපීටර් තුවක්කු දෙකක් රැගත් බන්ධනාගාර නිලධාරීන් දෙදෙනා ඉදිරිපසින් නැග්ගේය. නඩු විභාගය අවසන් විය. සිරකරුවන් පෙර පරිදිම නැවත ගෙනැවිත් ඔස්ටින් රථයේ පැටවිණි. අනුරාධපුරයේ හිරෙන් පැන යාමේ වරදට සිරාටත්, හිතුමතේටත්, ලයනල්ටත් වසරක සිර දඩුවමක් එකතුව තිබුණේය. මරුසිරාගේ නඩුවේ තීන්දුව පසු දිනට කල් ගියේය.
මේ අවස්ථාවේ අනපේක්ෂිත දෙයක් ද සිදුවිය. ජේලර්වරයකු අනෙකුත් සිරකරුවන් සමග වෑන් රථයේ ඒම පිණිස නතරවී රයිපලයක් අතින් ගත් පොලිස් නිලධාරියකු ඔස්ටින් රථයට නැගීම ඒ හදිසියේ ඇති වූ වෙනසයි.
සිරිපාල සිය මෙහෙයුම ආරම්භ කලේ උසාවියේ සිට කදිරේෂන් කෝවිල පසු කරන විටය. ප්‍රථමයෙන් කලයුතු වන්නේ දඹර ඇගිල්ල සහ මහපට ඇගිල්ල අහිමි සීමන් තම අත උල්කර මාංචුව පන්නා ගැනීමය. සිරිපාල ඇසෙන් දුන් විධානය අනුව අත පන්නා ගැනීම මිතුරා ආරම්භ කළේය. එය හිතුවාටත් වඩා පහසුවෙන් කෙරුණේය. සීමන්ගේ දෙඅත් මුළුමනින්ම නිදහස්ය. එහෙත් හඩ නොනැගෙන සේ මාංචු එලෙසම තබා ගත්තේය.
ඉන්පසු දෙවැනි පියවර එළැඹියේය. එනම් ජේල්ර් මහතාගේ සාක්කුවේ ඇති මාංචු ගලවන යතුරු කැරැල්ල පික්පොකට් ගැසීමයි. දක්ෂ පික්පොකට් කරුවකු වූ පියසේන අවස්ථාවක් බලා එය හරියටම කළේය. ඉන්පසු මෙහෙයුමේ තුන් වැනි පියවර ඇරඹියේය. යතුරු කුට්ටම හඩ නොනැගෙන සේ හුවමාරු කරගනිමින් එකිනෙකාගේ අත් මාංචුවලින් නිදහස් කරගත යුතුය. මිනිත්තුවකටත් අඩු කාලයක් තුල මාංචු ගැලවීම අවසන් වූවේය. දැන් මාංචු කුට්ටම් තුනම තිබෙන්නේ රබර් සීට් උඩ තුන්පලකය.
මල්වතු ඔය පාලම මතට රථය පිවිසෙනවාත් සමගම රියදුරු ෂෙල්ටන්ගේ ගෙල වටා අතදැමූ ලයනල් ඔහුගේ හිස උඩු අතට නවා ගත්තේය. කාරය පාලම් ඇන්දේ හැපී නතර විය. මරු සිරා දුන් පහරින් වම්පස දොර ඇරී සාජන් මහතා පාරට වැටුනේය. වහා නැගිට ගත් සාජන් මහතා රිපීටරය මරු සිරාට එල්ල කරනු දුටු හිතුමතේ වලහකු මෙන් ජේලර් වෙත කඩා පැන්න අතර දෙදෙනා පාලමේ ඇදි අතරින් මල්වතු ඔයට නොවැටී බේරුණේ අසීරුවෙනි. තුවක්කුව උදුරා ගැනීම සදහා ඔවුනොවුන් අතර බිහිසුණු සටනක් ඇරැඹුණේය.
සාජන් අතින් එක් වෙඩිල්ලක් පත්තු වූ අතර ඉලක්කය වැරදීම නිසා එය අසල වූ කොහොඹ ගසක වැදිණි. පසු නොබලා දුවමින් සිටි ෂෙල්ටන් වෙඩි හඩට හා වදුරන්ගේ හඩට ආපසු හැරී බැලූවිට දුටුවේ තුවක්කු සිරකරුවන් අතට පත්වීම නිසා තමා සිටින දෙසටම දිව එන සාජන් මහතා සහ ජේලර්ය.
ඊලග මොහොතේ පැයට සැතපුම් 60 ක පමණ වේගයකින් රතු පැහැති ඔස්ටින් ෂරීනා රථයක් අනුරාධපුර ඇළදපත්තුව දෙසට ගමන් කරනු පෙනුනේය. ලයනල් විසින් පදවනු ලැබූ කාරයේ ඉදිරි අසුනේ 303 වර්ගයේ රයිපලයක් අතින් ගත් මරුසිරා නොහොත් සිරිපාල වාඩි වී සිටියේය. පසුපස වම් පස අසුනේ සිටියේ රිපීටර් තුවක්කුවක් අතින් ගත් හිතුමතේ නොහොත් බී.ඩී. සුමතිපාලය.
මරු සිරා තවත් බිහිසුණු අපරාධරුවන් තිදෙනෙකු සමග හිරෙන් පැන යාම පසු දින පුවත්පත් මහා ඉහළින් වාර්තා කර තිබුණේය.මේ අසුභ ප්‍රවෘත්තියත් සමග රජරට ප්‍රදේශය හෙල්ලුම් කෑවේය. මරු සිරාගේ නඩුවේ තීන්දුව දුන්නේ විත්තිකරු නොමැතිවය. ඔහුට මරණ දඩුවම නියම විය. ඔස්ටින් රථය කැලෑ මණ්ඩියක අත්හළ සිරකරුවෝ ඇළදපත්තුව කැලයට වැදී සැහැල්ලුවෙන් ගමන් කළහ. එදින සන්ධ්‍යා භාගයේ ඔවුන් ප්‍රථමයෙන් කලේ වැවකට පැන සිත් සේ නා ගැනීමයි.
පසුදින මරු සිරාගේ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කරන මොහොතේ ඔවුන් සිටියේ දියකිත්ත වැව ප්‍රදේශයේ මිතුරකුගේ හේනක පිපිඤ්ඤා කමින් අල්ලාප සල්ලාපයේ යෙදෙමින්ය. මරු සිරාගේ පපුවේ මරුවා සමග වාසේ යනුවෙන් පච්ච කොටා තිබේ. එය දුටු සුමතිපාලට පච්චයක් අවශ්‍ය විය. එදා හැන්දෑවේ පච්ච කොටන අඩුවැඩිය රැගත් මිනිසකු හේන් යායට ගෙන්වාගත් මිතුරු පිරිස තම තමන් කැමති පච්චා කොටා ගත්තෝය.
සුමතිපාල කවුරු මොනවා කිව්වත් හිතුමතේ වැඩ කරන නිසා ඔහුගේ පපුවේ හිතුමතේ කියා කෙටීම වඩා සුදුසු බව කාගෙත් අදහස විය. දෙද්දුවගේ සිරිපාල නොහොත් මරු සිරා සිය අත් අකුරින් සුමතිපාලගේ පපුවේ හිතුමතේ යනුවෙන් සලකුණු කලේය. පච්චා කෙටූ ඇන්තනී එම අකුරු සුමතිපාල ජීවත්වන තුරු නොමැකෙන්නට තහවුරු කලේය. එය කොටා අවසන් වන විට සුමතිපාලගේ ඉල්ලීම වූයේ ඔහුගේ නැගණියගේ නමත් බාහුවේ කෙටිය යුතු බවය. එයද ඒ අයුරින්ම ඉටුවිය. සුමතිපාලගේ බාහුවේ කුසුමා ඔබ නිසා යනුවෙන් කුඩා අකුරින් සටහන් කළේය.
යුධ හමුදාවේ සහ පොලීසියේ උසස් නිලධාරීන් සාකච්ඡා කොට රජරට පුරා ආරක්ෂාව තරකර තිබුණි. දහසකට අධික භට පිරිසක් යොදවා පළමු කොටම ඇළදපත්තුවේ වනය කොටු කොට දැඩි පරීක්ෂාවට ලක් කලහ. එහෙත් පලාගිය සිරකරුවන් සම්බන්ධව කිසිදු තොරතුරක් ලැබුනේ නැත. අනුරාධපුර පොලිස් අධිකාරී මහතා විශේෂ වැඩ පිළිවෙලක් සකස් කල අතර එම මෙහෙයුමට අනුව සන්නද්ධ කුඩා භට කණ්ඩායම් දිස්ත්‍රික්කයේ කැලෑ මාර්ග වල රාත්‍රී කාලයේ තැන් තැන්හි යෙදවිණි. එම කණ්ඩායම්ද අනුරාධපුර අවට කැළෑ ප්‍රදේශ වල, හේන් යායවල සැරිසැරූහ. එහෙත් පලාගිය සිරකරුවන් පිළිබදව කිසිදු ආරංචියක් පොලිසියට ලැබුනේ නැත.
දින ගණනකින් පසුව පොලිස් ඔත්තුකරුවෙකු දැනුම් දුන්නේ කුඩා හෝටලයකින් අවේලාවේ කෑම පාර්සල් කිහිපයක් සකස් කරවාගෙන කැලයට ගමන් කල නොහදුනන පුද්ගලයෙකු ගේ අතේ ඇගිලි කීපයක් අඩු බවය. අනුරාධපුර මූලස්ථාන පොලිස් පරීක්ෂක නලින් දෙල්ගොඩ මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් පරීක්ෂක සිසිල් කාරියවසම් ඇතුළු කණ්ඩායමක් පිටත් වූ අතර ඔව්හු වනයට ඇතුල් වී ඉදිරියට ගමන් කළහ. තරුණ පොලිස් පරීක්ෂක සිසිල් කාරියවසම් මහතාට මරුසිරාගේ වැඩකිඩ ගැන එතරම් දැනීමක් නොතිබූ අතර ඔහු මෙය සාමාන්‍ය රාජාකාරී ගමනක් ලෙස සළකා තිබුනි.
මේ කණ්ඩායම බලාපොරොත්තු නොවූ ලෙස කැළය මැදදී අපරාධකරුවන් සිව් දෙනාගේ කල්ලිය මුහුණට මුහුණ හමු විය. මේ අවස්ථාවේ පලා යාම වෙනුවට පහරදීම තෝරාගත් මරුසිරා සාජන් කෙනෙකුට පොල්ලකින් පහර දුන් අතර ඔහුතේ අතේ තිබී විසිවූ ස්වයංක්‍රීය ගිණි අවිය අහුලා ගන්නට පැන්නේය. නමුත් වහා ක්‍රියාත්මක වූ සිසිල් කාරියවසම් මහතා මරුසිරා මතට පැන පොරබදා ඔහු මෙල්ල කළේය. පොලිස් නිළධාරීන් හතර අතේ වෙඩි තබන්නට ගත් නිසා මරුසිරා බේරාගැනීම පසෙකලා සෙස්සෝ පැන ගියහ. මරුසිරා ජීවග්‍රහණනයෙන් අල්ලා ගැනීමට හැකි වීම පොලිස් පිරිසේ විශාල ජයග්‍රහණයක් ලෙස ඔව්හු සැලකූහ.
පැය තුනක් පමණ කල්ගතවූ පසු ඉපැරණි වැව් බැම්මක් මතදී හිතුමතේ සහ ලයනල් නැවත හමුවූහ. දින කීපයකට කලින් දින දෙකක් නතර වී සිටි හේනක තවත් දින දෙකක් රැදෙන්නට ඔව්හු තීරණය කලහ. මිනීමැරුම් චෝදනා ගණනාවක් ඇති සුමතිපාල නොහොත් හිතුමතේ අල්ලා ගැනීම සදහා ඔත්තු සපයන්න යැයිද පොලිසිය මහජනයාගෙන් ඉල්ලා තිබුනේය. දින දෙකකට පසු ලයනල් සහ පියසේන අනුරාධපුරයට ආයුබෝවන් කියා පිටවී ගියේය. සුමතිපාල වැඩි අමුත්තක් නොපෙන්වා හේන් ගොවිතැන් කල මිතුරාට උදව් වෙමින් හේනටම වී සිටියේය.
එක් ඉරිදාවක වට්ටක්කා කොළඹ පටවන ලොරිය පැමිණියේය. හේන් කීපයක වට්ටක්කා පටවා ගත් ලොරිය කොළඹ යන්න පිටත් විය. හිසේ ජටාවක් බැදගත් හිතුමතේ වට්ටක්කා ගොඩේ වාඩිවී සිටියේය. ලොරිය උදෑසනම කොළඹ බලා ගමන් කළේය.
කුරුණෑගල නගරයේදී හිතුමතේ වට්ටක්කා ලොරියට සමු දී බැසගත්තේය. හෙතෙම සිරගෙදරදී හදුනාගත් යහළුවකු වූ රත්නේ සොයා පසුව කටුපොත ගියේය. රත්නේ සමග දින කීපයක් ගත කල ඔහු රත්නේගේ නිවෙසේ තිබූ මෝටර් සයිකලයෙන් රවුමක් දෙකක් ගසා පුහුණු විය.
දිනක් යහළුවාගේ මෝටර් සයිකලයේ නැගුනු හිතුමතේ අවසන් මෙහෙයුම ආරම්භ කිරීම සදහා බුද්ධි දත්ත රැස්කර ගැනීමට පල්ලම බංගදෙණිය හරහා ආරච්චිකට්ටුවට ගියේ එම නගරවල මස්කඩ කිහිපයක් පවත්වාගෙන ගිය මුදලාලි දැක ගන්නටය.
ආරච්චිකට්ටුව හන්දියට ඔබ්බෙන් හලාවත පැත්තට වෙන්නට ගැස්ටන් මුදලාලිගේ නිවෙස තිබුනේය. ඔහුගේ දින චර්යාව නිසැකව තේරුම් ගන්නට සුමතිපාල දින තුනක් කුරුමානම් ඇල්ලුවේය. දින තුනේම සවස 4.30 ත් 5.00 ත් අතර නිවෙස ඉදිරිපිට මෝටර් රථය නැවැත්වූ පසු මුදල් පාර්සලයත් රැගෙන මුදලාලි නිවෙස තුලට යන බව නිරීක්ෂණය විය. සිය දඩයම මස් කඩ අසල කරන්නට යෑම එතරම් නුවනට හුරු නැතැයි හිතුමතේ කල්පනා කළේය. එහිදී ශිල්ප දක්වන්නට ගියොත් තමාගේ මරණ දඩුවමද ඒ ස්ථානයේදීම ක්‍රියාත්මක වන්නට ඉඩ තිබේ. එසේ නම් තම වැඩේට අත ගැසිය යුත්තේ මුදලාලිගේ නිවසේදීය.
දින කීපයක් මිතුරාගේ නිවසේ සිටි සුමතිපාල මල්වත්තේ ඉලිප්පදෙණිය හන්දියේ තරමක් සරුවට පවත්වාගෙන යන කම්හලකට ගොස් පොල් කෙක්කට දමන පිහියක් සාදවා ගත්තේය. පිහියේ වැඩ අවසන් වූ දින ඔහු මෝටර් සයිකලයේ ගොස් පිහිය ගෝනියක ඔතාගෙන මස් කඩ මුදලාලියා හමුවන්නට ගියේය. හෙතෙම මුදලාලිගේ නිවෙසට නුදුරින් වූ මල්මාර ගස යට බයිසිකලය නතර කළේය. නියමිත වෙලාවට මුදලාලිගේ රිය ගේට්ටුව පසුකර නැවැත්වීය.
හිතුමතේ ගෝනියෙන් එළියට ගත් පිහිය පිටුපසට කර අල්ලාගෙන සිටියදී මුදල් පාර්සලයත් බ්‍රැන්ඩි බෝතලයකුත් අතින් ගත් මුදලාලි කාරයේ දොර ඇර එළියට පා තැබුවේය. හිතුමතේ වේගයෙන් මුදලාලි කරා පැමිණෙමින් සිටියේය. මුදලාලි ඔහු දුටුවේ ඉතා සමීපව එමින් සිටියදීය. හිතුමතේගේ මුහුණේ වූ වියරු සිනහව දුටු ගැස්ටන් මුදලාලි තැති ගත්තේය.
ඒයි කවුද මනිහෝ උඹ ? ඔහු කෑ ගසමින් මුදල් පාර්සලය කිහිල්ලට සිරකර ගත්තේය.
මුදලාලි මහත්තයෝ මම සුමතිපාල කුසුමාවතීගේ අයියා හිතුමතේ කෑ ගැසුවේය.
මුදලාලි භීතියෙන් මුසපත්ව කාරය දෙසට ආපසු හැරුණේය.
ඉදිරියට පැන්න හිතුමතේ කෙක්ක පොල්වල්ලට දමන්නාක් මෙන් ගැස්ටන් මුදලාලිගේ බෙල්ලට දමා ඇද්දේය. කදින් වෙන්වූ බෙල්ල පළමුවත් මුදලාලි දෙවනුවත් ගෙය ඉදිරිපිට කාණුවට වැටුණේය.
මේ සිදුවීම කිසිවෙකු දැක්කේ නැත. පොල් කඩන වක් පිහිය කාණුවට විසිකල හිතුමතේ ආපසු හැරී මල් මාර ගස යට නතර කර තිබූ මෝටර් සයිකලය වෙත යන්නට පිටත් විය. මේ අවස්ථාවේදී පමණක් ඔහු කැපූ හිස රැගෙන ගියේ නැත.
පසුව මුදලාලිගේ බිරිදට මළසිරුර හමුවිය. හිතුමතේ කටුපොත රත්නපාලගේ නිවෙසට ගියේය. මොටර් සයිකලය වෙනදා නවතා තබන ස්ථානයේම තැබූ ඔහු බාල්දිය රැගෙන ලිද කරා ගොස් මුහුණ දොවා ගත්තේය. එදින රාත්‍රියේ බොහෝ වේලා කල්පනා කළේය. පළිගැනීම දැන් අවසන් වී ඇත. අනුලෝම ප්‍රතිලෝම වශයෙන් සිදුවූ හැම සිදුවීමක්ම ඔහුට මෙනෙහි වූවේය.
නින්දට ගිය ඔහු නින්දෙන්ම බොහෝ දුරක් පයින් ගමන් කර පසුදින උදයේ වැවක් අයිනේ වැටී සිටියේය. එතැනට ආවේ කෙසේ දැයි ඔහුට මතකයක් නොවීය. පළිගැනීමේ සිතිවිල්ල හිතුමතේ තුල ගොඩනගා තිබූ ජවය හා උත්තේජනය ඒ වන විට සිදී තිබුනේය. දැන් සියල්ල අවසානය. තවදුරටත් තමා ජීවත්වීම අවශ්‍ය නොවේ. නමුත් බියගුල්ලෙකු සේ නොමැරෙන්නට ඉටා ගත් ඔහු මාර්ගයක් සොයා ගමන් කළේය. එහි ගිය ලෑන්ඩ්මාස්ටර් රථයක තරුණයෙක් ඔහුවද නංවා ගත්තේය. එය හලාවත නගරයට ඇතුළු වූ විට හිතුමතේ එයින් බැස කෘතවේදී සිනාවකින් එය පැදවූ තරුණයාට ආචාර කළේය. හිතුමතේ ඉන්පසු පොලිස් ස්ථානය සොයා ගියේය. පැමිණිළි ලියන පොලිස් නිලධාරියාට තමා කවුදැයි හදුන්වා දුන්නේය.
නැවතත් පුරුදු සිරගෙදරට ආ සුමතිපාල සුළු කලකට පසු සිය නිවෙස සහ ඉඩම යාබද පන්සලට පවරා දී පියාටත්, මවටත්, නැගණියටත් පින් අනුමෝදන් කළේය. සති දෙකකට පසු සුමතිපාල බෝගම්බරට මාරු කළේය. එහිදී නැවතත් මරු සිරා හමු වූ අතර පසුව මරුසිරා එල්ලා මරන ලදී. මෙය සුමතිපාලට කණගාටුදායක දෙයක් විය. (මරුසිරා පෝරකයට යැවීමේ සිද්ධිය එකල මහත් ආන්දෝලනයක් ඇති කල අතර ලංකාවේ මරණ දඩුවම අහෝසි වී යාමටද එය බලපෑ බව කියවේ.)
මිනීමැරීමේ චෝදනා 4 ක් සම්බන්ධයෙන් එල්ලා මරා දැමීමට නියමිතව සිටි හිතුමතේ නැමති සිරකරුට එවකට හිටපු ජනාධිපති විලියම් ගොපල්ලව මහතා විසින් මරණ දඩුවම අත්හිටුවා වසර 90 ක සිර දඩුවමකට යටත් කෙරුනි.
සිරගත ජීවිතයේදී ඔහුට විශාල මිතුරු පිරිසක් ඇසුරු කිරීමට අවස්ථාව ලැබුනේය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, රෝහණ විජේවීර, විජය කුමාරණතුංග, නන්දන මාරසිංහ වැනි කීර්තිමත් මිනිසුන් ඔහු සමග එකම සිර කුටියේ සිටියේය.
පසුකලෙක (තමා සමග එකට සිරබත් කෑ) හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් ඔහුට ජනාධිපතිවරයාගේ උපන් දිනය දා සමාව ලබා දුන්නේය.
ඒ අනුව සුමතිපාල නොහොත් හිතුමතේ ජීවිතේ සිරකරු 2013 නොවැම්බර් මස 24 වන දා සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කල අතර ඔහුට 2014 පෙබරවාරි මස 4 වන දා තුන්රෝද රථයක්ද ප්‍රදානය කරනු ලැබීය. ඒ සදහා අරලියගහ මන්දිරයට ගොස් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හමුවීමටද අවස්ථාව ලබා දී තිබුනි. 17 වෙනි වියේදී සිර ගෙදරට පැමිණි ඔහු වසර 41 ක සිරගෙයි ජීවිතයෙන් ජනාධිපති සමාව ලබා නිදහස් වන විට වසර 58 ක වියපත් මිනිසකුව සිටියේය.
සිපිරි ගෙය තුලදී හිතුමතේ ජීවිතය විසින් කොපි පොතක ලියන ලදැයි කියන කවි දෙකකින් මේ සටහන නිමාවට පත්කරන්නට රිසි වෙමි
අදහස් කුහක මිතුරන්ගෙන් දුරු වේවා
නිදහස් බිමක මගෙ මරණය සිදු වේවා
උදහස් නොවෙමි සැමදෙන මට පිටු පෑවා
අනුහස් එපා පෝරකයට ගොඩ වෙනවා
බැහැ ඉවසන්න මරුවා මට වද දෙනවා
ඇහැ මගෙ නංගි නිතරම මට සිහි වෙනවා
නැහැ කිසි දුකක් යුතුකම මගෙ ඉටුවෙනවා
බැහැ තව ඉන්න නංගී වෙත මම යනවා
(මෙම දීර්ග ලිපිය මුහුණ පොතේ සෝමලතා හේරත් මැණිකේ සොහොයුරිය විසින් උපුටා දක්වා තිබූ අතර මෙම ලිපිය ලියූවෙක් සම්බන්ධයෙන් තොරතුරු නොමැති බවද දක්වා තිබිණි

Friday, 15 July 2016

http://i0.wp.com/sindupotha.kathabuzz.com/wp-content/uploads/2014/05/Kadulu_Podak_Oba-Dase_Chandralekha.png
කළු කුහරයකින් ගැබ්බර වූ ඇන්ඩ්‍රොමීඩා
විශ්මය දනවන සුළු ආකාශ වස්තු ප‍්‍රකෝටි ගණනකින් මේ මහා විශ්වය පිරී ඇත. චක‍්‍රවාට, තිහරිකා, තරු පොකුරු, තාරකා වළලු වැනි අද්භුතජනක සැඟැවුණු ආකාශ වස්තූන්ගෙන් ගැබ්බර වී ඇති අපරිමිත වූ මේ මහා විශ්වය පිළිබඳව අප දන්නා දේ බොහෝ ය. නොදන්නා දේ අපරිමිත ය. කළු කුහර යනු ගැඹුරු විශ්වයෙ හි සැඟ වී ගිය එවැනි අපූර්වතම ග‍්‍රහ වස්තුවකි. තරුවක මිය යෑමෙකි. අවසානය කළු කුහරය වේ. අප සූර්යයා ගේ ස්කන්ධය මෙන් දස ගුණයකට වැඩි සෑම තාරකාවක් ම තම ජීීවිතය අවසන් කරනු ලබන්නේ කළු කුහරයක් ලෙසිනි. කළු කුහරවල ගුරුත්වාකර්ශන බලය ඉතා ඉහළ අගයක් ගනී. එහි ගුරුත්වාකර්ශන බලයේ ප‍්‍රමාණය කොපමණදැයි කිවහොත් ඒ වෙතට පැමිණෙන ආලෝක කිරණයකට පවා ගැල වී යාමට ඉඩ නොදී තමා වෙතට ආකර්ශනය කර ගනී. කළු කුහර සතු මෙම අධික ගුරුත්වාකර්ශන බලය හේතුවෙන් ඒ අවට පිහිටා ඇති අනෙක් ආකාශ වස්තූන් ගේ පිහිටීමෙහි ද යම් යම් වෙනස්කම් දක්නට ලැබෙන බව ඒ පිළිබඳව පර්යේෂණ කරනු ලබන විද්‍යාඥයෝ පවසති. මේ මුළු මහත් වූ විශ්වයෙන් කළු කුහරයක් සඳහා ලබා ගනු ලබන ඉඩ ප‍්‍රමාණය ඉතා කුඩා වුවත් එහි ස්කන්ධයේ ප‍්‍රමාණය සිතාගත නොහැකි තරම් විශාල වේ. එනම් එහි තේ් හැන්දක ප‍්‍රමාණයේ බර ටොන් ගණනක් වන බව කරන ලද පර්යේෂණවලින් හෙළිවී ඇත.
සාමාන්‍යයෙන් තාරකාවක් රතු යෝධ අවධිය ට පැමිණෙන විට එහි අභ්‍යන්තරයේ තිබූ හයිඩ‍්‍රජන් හා හීලියම් න්‍යෂ්ටික ප‍්‍රතිකි‍්‍රයා සිදු වීම අහවර කරයි. එනම් සියලු ම හයිඩ‍්‍රජන් න්‍යෂ්ටි හීලියම් න්‍යෂ්ටි බවට පත්වී හමාර ය. මේ හේතුව නිසා තාරකාව තුළ ඇති සියලුම හීලියම් න්‍යෂ්ටි කාබන් න්‍යෂ්ටි බවට පත් කරනු ලබන අතර ඒ මඟින් තාරකාවේ හරය තව තවත් ප‍්‍රසාරණය වීමට පටන් ගනී. ටික කලක් ගත වන විට ප‍්‍රසාරණය වන හරය සිසිල් තත්ත්වයට පත්වී ක‍්‍රමයෙන් නිශ්චිත ප‍්‍රමාණයක් ගනී. ඉන් පසුව ඉතිරිව ඇති කාබන් හරය නැවතත් සංකෝචනය වීමට පටන්ගනී. මේ හේතුව නිසා නැවතත් එහි හරයේ උෂ්ණත්වය ඉහළ අගයක් ගනී. මේ ආකාරයට උෂ්ණත්වයේ ප‍්‍රමාණය අඩු වැඩි කරමින් කීප වරක් ප‍්‍රසාරණය වන තාරකාවේ පිටත ස්ථරය පුපුරා යයි. එම පිපිරීමේ දී විශාල ශක්තියක් පිට කරනුු ලබන අතර එයින් ඉතිරි කරන කොටස සුපර්නෝවාවක් ලෙස හඳුන්වනු ලබයි. මේවායෙ හි ශක්තිය ඉතා අධික ප‍්‍රමාණයක් වන අතර දීීප්තිය ද සාමාන්‍ය තාරකාවක දීප්තියට වඩා බොහෝ සෙයින් වැඩි ය.අප සූර්යයා ගේ ස්කන්ධය මෙන් තුන් ගුණයකට වඩා වැඩි තාරකාවක් මෙලෙස සුපර්නෝවාවක් බවට පත් වුණත් එය තවත් සංකෝචනය වී ප‍්‍රමාණයෙන් කුඩා වස්තුවක් බවට පත් වේ. එහි ප‍්‍රමාණය පරමාණුවකටත් වඩා කුඩා වන අතර ඒ වන විට එහි ඝනත්වය හා ගුරුත්වාකර්ශනය ඉතා ඉහළ අගයක් ගනී. මේ අවස්ථාවේ දී පවතින එම කුඩා පදාර්ථයට නම් තබා ඇත්තේ කළු කුහරයක් ලෙසයි.කළු කුහරයක් යනු අපූරු ආකාශ වස්තුවකි. එය හඳුනාගැනීම තරමක් අපහසු ය. විශ්වයෙ හිි පිහිටා ඇති අනෙක් ආකාශ වස්තූන්ට සාපේක්ෂව කළු කුහර පිළිබඳව මිනිසා දන්නා දේ බොහෝ සෙයින් අඩු වී ඇත්තේ එහි පවතින අඳුරු ස්වභාවය නිසා ය. ග‍්‍රහලොවක් තරුවක් වැනි ආකාශ වස්තුවක් සොයා ගන්නා ආකාරයට දුරේක්ෂ භාවිතයෙන් නව කළු කුහරයක් හඳුනාගැනීම තරමක් අපහසුය. මේ සඳහා ඔවුන් විශේෂිත ක‍්‍රමයක් භාවිත කරනු ලබයි. කළු කුහරය අවට පවතින ග‍්‍රහ වස්තූන්්ගේ හැසිරීම් රටාවන් නිරීක්ෂණය කිරීමෙන් එම ස්ථානයෙ හි කළු කුහරයක් පවතී ද, නැද්ද යන්න තීරණය කරනු ලබයි.සාමාන්‍යයෙන් කළු කුහරයක් පිහිටා ඇත්තේ මණ්දාකිණියක මධ්‍යයට වන්නට ය. අප සෞරග‍්‍රහ මණ්ඩලය අයත් වන්නා වූ ක්ෂීරපථ චක‍්‍රාවාටයෙ හි ද මෙවැනි කළු කුහර කිහිපයක් දක්නට ලැබෙන බව තාරකා විද්‍යාඥයෝ පවසති. ඊට අමතරව අප ක්ෂීරපථයට ආසන්නව පිහිටා ඇති වෙනත් මණ්දාකිණි කිහිපයක ද කළු කුහර කිහිපයක් නිරීක්ෂණය කිරීමට ද තාරකා විද්‍යාඥයෝ සමත් වී ඇත. ඇන්ඩ්‍රොමීඩා යනු එවැනි එක් මණ්දාකිණියකි. ඇන්ඩ්‍රොමීඩා තුළ කළු කුහර අඩංගු වී ඇති බව මෑතක දී සිදුකරන ලද පර්යේෂණවලින් අනාවරණය වී ඇත.
අනෙක් මණ්දාකිණිවල මෙන් ම ඇන්ඩ්‍රොමීඩා ගේ කළු කුහරය ද පිහිටා ඇත්තේ එහි මධ්‍යයට වන්නට ය. මීට දශකයකට පමණ පෙර ඇන්ඩ්‍රොමීඩා මණ්දාකිණිය පිළිබඳව පර්යේෂණ කරනු ලැබූ විද්‍යාඥයින්ට පෙනී ගියේ එහි මධ්‍යයට වන්නට පිහිටා තිබූ ආකාශ වස්තූන් ගේ් හැසිරීම් රටාවෙ හි විවිධවූ වෙනස්කම් රාශියක් දක්නට ලැබෙන බවකි.ඇන්ඩ්‍රොමීඩා ගේ මධ්‍යයට වන්නට පිහිටා තිබූ සියලු ම ආකාශ වස්තු එහි මධ්‍යය වටා වේගයෙන් භ‍්‍රමණය වෙමින් තිබුණි. ඒ පිළිබඳව වැඩිදුරට පර්යේෂණ කරනු ලැබූ ඔවුන් නිගමනය කළේ ඇන්ඩ්‍රොමීඩා මධ්‍යයෙහි විශාල ස්කන්ධයක් සහිත ග‍්‍රහ වස්තුවක් පිහිටා ඇති බවය. නිල්පාට ආලෝක ධාරාවක් විහිදුවමින් පවතින මෙම අද්භුතජනක ග‍්‍රහ වස්තුව කුමක්දැයි යන්න ඔවුන් දැන නොසිටිය හ. මෙය ප‍්‍රබල ගුරුත්වාකර්ශණ බලයකින් ද යුක්ත බව පැවැසූ ඔවුන් ඒ පිළිබඳව වැඩි දුරටත් පර්යේෂණ කළහ. තත්ත්වය එසේ වුවත් මෑතක් වන තෙක් ම එය කළු කුහරයක් යැයි දැනගැනීමට ඔවුන් සමත් වූයේ නැත. දශකයකට පමණ ආසන්න කාලයක් ඇන්ඩ්‍රොමීඩා ගේ මධ්‍යය පිළිබඳව පර්යේෂණය කළ විද්‍යාඥයෝ නිල්පාට දීප්තිමත් එළිය විහිදවූයේ කළු කුහරයක් බව සොයා ගන්නා ලදී. ඔවුන් ගේ මෙම පර්යේෂණ කටයුතු සඳහා උදවු උපකාර කරනු ලැබූවේ හබල් අභ්‍යවකාශ දුරේක්ෂයයි.හබල්ට අනුව ඇන්ඩ්‍රොමීඩා මධ්‍යයෙ හි නිල්වන් දීප්තියක් ආලෝකයක් ලෙස දිස්වී ඇත්තේ මීට අවුරුදු මිලියන දෙසීයයකට පමණ පෙර උපත ලද තරු එකතු වී සෑදුණු තාරකා වළල්ලකිණි. තවමත් තරුණ වියෙ හි පසුවන තාරකාවලින් සැදුම්ලත් වී ඇති මෙම තාරකා වළල්ල ඇන්ඩ්‍රොමීඩා ගේ මධ්‍යය වටා කරකැවෙමින් පවතී. සෞරග‍්‍රහ මණ්ඩලයෙ හි ඇති ග‍්‍රහලෝක අට සූර්යයා වටා පරිභ‍්‍රමණය වෙමින් පවතින ආකාරයට ඇන්ඩ්‍රොමීඩා ගේ මධ්‍යය වටා පරිභ‍්‍රමණය වන මෙම තාරකා වළල්ල තාරකා විශාල සංඛ්‍යාවක එකතුවකින් සෑදුණු එකකි. මෙහි අඩංගු වී ඇති තාරකා පැයට කිලෝමීටර් දහසක් පමණ වේගයෙන් මණ්දාකිණියෙහි මධ්‍ය වටා චලනය වන බව සොයාගෙන ඇත.මෙම තාරකා වළල්ලක් ආකාරයට සැකසීමට හේතුව වශයෙන් ඉදිරිපත් කර ඇත්තේ් එහි මධ්‍යයෙ හි පිහිටා ඇති අධික ගුරුත්වාකර්ශණ බලයකින් හෙබි කළු කුහරයයි.
මේ තාරකා වළල්ලෙහි පිහිටා ඇති සෑම තාරකාවක් ම එම ප‍්‍රබල ගුරුත්වාකර්ශණයට හසුවී ඇති බව කරන ලද පර්යේෂණවලින් අනාවරණය විය. මණ්දාකිණියේ මධ්‍යය වටා කරකැවෙමින් පවතින මෙම තාරකා වළල්ල අධික උණුසුම් තාරකා දෙදහසකින් පමණ සැදුම්ලත් වී ඇත. එහි පිහිටා ඇති තාරකා පැයට කිලෝමීටර් දහසක් තරම් අධික වේගයකින් පරිභ‍්‍රමණය වීමට නම් ඇන්ඩ්‍රොමීඩා මධ්‍යයෙහි පිහිටා ඇති කළු කුහරය අධික ස්කන්ධයකින් යුක්ත විය යුතු බව විද්‍යාඥයින්ට පෙනී ගිය අතර එය සූර්යයා ගේ ස්කන්ධය මෙන් මිලියන එකසිය පනහකට වඩා වැඩි ස්කන්ධයක් සහිත කළු කුහරයක් ඇන්ඩ්‍රොමීඩා විසින් දරා සිටින බව පසුව අනාවරණය විය.
සෞරග්‍රහ මණ්ඩලයෙන් පිටත විශාලතම ග්‍රහයා සොයාගැනීමට හැකි වූ බවත් එය සූර්යයන් දෙදෙනෙකු වටා ගමන් කරන බවත් තාරකා විද්‍යාඥයෝ පිරිසක් පවසති.
මෙම අලුත් ලෝකය බ්‍රහස්පති ග්‍රහයාට සමාන විශාලත්වයකින් යුත් බව සදහන් වේ. එමෙන්ම පෘථිවියේ සිට ආලෝක වර්ෂ 3,700 ක දුරින් පිහිට ඇත. නාසා ආයතනය සහ සැන් ඩියාගෝ හි රාජ්‍ය විශ්ව විද්‍යාලය එක්ව කරන ලද පරීක්ෂණයකින් මේ බව හෙළි වී තිබේ.
"ප්ලැනට් හන්ටින්ග්" කෙප්ලර් දුරේක්ෂය භාවිතා කරගනිමින් එම සොයාගැනීම සිදු කර තිබෙන බව ඔවුහු පවසති. සැන් ඩියාගෝහි ඇමරිකා තාරකා විද්‍යා සංගමයේ මාධ්‍ය හමුවකදී මෙම නව සොයා ගැනීම ප්‍රකාශයට පත් කරන ලදී.
එම ග්‍රහ ලෝකය පිහිටා තිබෙන්නේ වාසයට සුදුසු කලාපයක් තුළ වුවද එය ඉතා විශාල ග්‍රහ ලෝකයක් හේතුවෙන් ජ්වින් අපේක්ෂා කළ නොහැකි බව ඔවුහු පවසති. සූර්යයන් යුගලයක් වටේ ගමන් කරන ග්‍රහ ලෝක "ස්ටාර් වෝස් " චිත්‍රපටයෙන් පසු 'ටැටුයින්' යන අන්වර්ථ නාමයෙන් හදුන්වනු ලැබීය.
විද්යාඥයන් පළමු ටැටුයින් ග්‍රහයා සොයා ගනු ලබන්නේ 2011 වසරේදීය. පෘථිවියේ සිට ආලෝක වර්ෂ 200ක් දුරින් සෙනසුරු ග්‍රහයාගේ විශාලත්වයට සමාන ග්‍රහයෙක් එලෙස සොයා ගැනිණි. ප්‍රධාන වශයෙන් සෞරග්‍රහ මණ්ඩලයෙන් පිටත පෘථිවියට සමාන ග්‍රහ ලෝක සෞරග්‍රහ මණ්ඩලයෙන් පිටත ග්‍රහලෝක ගවේශනය කිරීම 2009 දී කෙප්ලර් දුරේක්ෂ භාවිතයෙන් ආරම්භ කරන ලදී.
සඳ ගමන ප්‍රෝඩාවක්ද????(පලමු කොටස)
1969 ජූලි මස 20 වන දින ඇමෙරිකානු ගගනගාමීන් දෙදෙනෙකු වන නීල් ආම්ස්ට්‍රෝන්ග් සහ බස් ඕල්ඩ්‍රින් ඇපොලෝ 11 යානයෙන් සඳ මතට ගොඩ බැස්සේ මුලු මහත් මිනිස් ඉතිහාසයේම යෝධ ඉදිරි පිම්මක් සනිටුහන් කරමින්. මෙම ඓතිහාසික අවස්ථාව එදා මුලු ලෝකය පුරාම සජීවීව රූපවාහිනියෙන් විකාශය කෙරුනා. මිනිසා මුලින්ම සඳ මත පා තැබූ ඒ ඓතිහාසික මොහොත නීල් ආම්ස්ට්‍රෝන්ග් විසින් එදා විස්තර කරන ලද්දේ මෙලෙසින්.
"මෙය මා තබන එක් කුඩා පියවරක් පමණක් වුවත් මෙය මුලු මහත් මිනිස් සංහතියම පනිනා යෝධ ඉදිරි පිම්මකි."
නමුත් ඔහු සැබැවින්ම සඳ මතට ගොඩ බැස්සාද?
එසේත් නැතිනම් රුසියාව සමග පැවති සීතල යුද්ධය ජය ගැනීමට මෙය ඇමෙරිකාව විසින් හොඳින් සැළසුම් කර වේදිකා ගතකල රඟදැක්වීමක් පමණක්ද?
හැත්තෑව දශකයේ සඳ මත පා තැබූ ඇමෙරිකානුවන්ට මේවන තෙක් නැවත වතාවක් එය ඉටු කරගැනීමට නොහැකි වූයේ ඇයි?
සඳ ගමන ප්‍රෝඩාවක් බව විශ්වාස කරන මිනිසුන් ප්‍රමාණය කාලයත් සමග වැඩි වී තිබෙනවා. නවතම වාර්තා වලට අනුව ඇමෙරිකානු ජනගහණයෙන් 20%ක් පමණ පිරිස විශ්වාස කරන්නේ ඇමෙරිකානුවන් කිසිදිනක සඳ මත පා නොතැබූ බවයි.
ඇමෙරිකානුවන් සඳ මත පා නොතැබූ බවට මත ප්‍රකාශ වන්නේ නිකම්ම නිකම් නොවෙයි. මෙම තර්කය ගොඩනැගී ඇත්තේ විවිධ කරුණු සාධක පදනම්වයි.
කෙසේ වෙතත් මෙම තර්ක වලට නාසා ආයතනය පිළිතුරු සපයා තිබෙනවා. සඳ ගමන ප්‍රෝඩාවක් බවට ඇති සාක්ෂි සහ ඒවාට පිළිතුරු ලෙස නාසා ආයතනය ලබාදුන් ප්‍රකාශ පහතින් දැක්වෙනවා.
1.) සුළඟේ ලෙළදෙන ඇමෙරිකානු කොඩිය
ඇමෙරිකානුවන් සඳ මත ගොඩබාන අවස්ථාව රූපවාහිනියෙන් විකාශය කරන විට සඳ මත ගැසූ ඇමෙරිකානු කොඩිය සුළඟේ ලෙළදී තිබෙනවා. ඒ වගේම ඡායාරූප වලත් මේ බව දැකගැනීමට පුලුවන්. නමුත් ප්‍රශ්නය වන්නේ සඳ මත වායුගෝලයක් නොමැති වීමයි. එම නිසා සඳ මත සුළඟක් ඇතිවීමේ හැකියාවක් නොමැත. එසේනම් සඳ මත ගැසූ ඇමෙරිකානු කොඩිය ලෙළදුන්නේ කෙසේද?
නාසා ආයතනයේ පැහැදිලි කිරීම
කොඩිය රැගෙන ගොස් ඇත්තේ කුඩා නළයක් තුළයි. එම නළයෙන් කොඩිය ඉවතට ගැනීමේදී ඇති වූ රැළි නිසා කොඩිය ලෙළදෙන ආකාරයෙන් දිස්වේ. කොඩිය ගසා තිබෙන රිට ගගනගාමින් ඇල්ලූ විට ඇති වූ කම්පනය හේතුවෙන් කොඩියේ රැළි ඇතිවූ බව තවත් එක පැහැදිලි කිරීමක්.
2.) චන්ද්‍ර යානය ගොඩබෑමේදී සඳේ පෘෂ්ඨය මත ඇතිවූ සළකුණු දක්නට නොලැබීම
ඇත්ත වශයෙන්ම යානයක් සඳ මත ගොඩබෑවා නම් සඳේ පෘෂ්ඨය මත ඝට්ඨන සළකුණු ඇතිවිය යුතුය. යානය ගොඩබෑමේදී ඇතිවන කම්පනය හේතුවෙන් මේවා තරමක් විශාල ඒවා විය යුතුය. නමුත් කිසිම ඡායාරූපයක හෝ වීඩියෝවක මේ ආකාරයේ සළකුණු දක්නට නොමැත. චන්ද්‍ර යානය නිකම්ම පෘෂ්ඨය මත තැබුවාක් මෙනි. අඩුම තරමින් සඳේ පෘෂ්ඨය මත තැන්පත් වී ඇති දූවිලි තට්ටුව පවා කැළඹී ගිය අයුරක් දක්නට නොලැබේ.
නාසා ආයතනයේ පැහැදිලි කිරීම
සඳ මතුපිට ගුරුත්වාකර්ෂණ බලය පෘථිවිය මතුපිටදීට වඩා සැළකිය යුතු මට්ටමකින් අඩුය. එම නිසා යානය ගොඩබැස්සවීමේදී ඇතිවන තෙරපුම සඳ මතදී සැළකිය යුතු මට්ටමකින් අඩුය. යානය ගොඩබැස්සවීමේදී සඳේ පෘෂ්ඨය මත සළකුණු ඇති නොවීමට හේතුව මෙයයි. එමෙන්ම සඳේ මතුපිට ඉතා තද ඝණකමකින් යුක්තය. බහුලවම ඇත්තේ තද පාෂාණය. එම නිසා තෙරපුම මීට වඩා වැඩි වුවත් සළකුණු ඇතිවීමේ හැකියාවක් නොමැත.
3.) ආලෝක ප්‍රභව කිහිපයක් තිබීම
සඳ මතට ආලෝකය ලැබිය හැක්කේ එකම ප්‍රභවයකින් පමණි. ඒ ප්‍රභවය නම් සූර්යයායි. නමුත් ඡායාරූප හා වීඩියෝ නිරීක්ෂණය කිරීමේදී විවිධ වස්තු වල සෙවණැළි විවිධ දිශා වලට වැටී ඇති අයුරු දැකගත හැකිය. සඳ ගමන ප්‍රෝඩාවක් යයි පවසන්නන්ගේ අදහස වී ඇත්තේ මේ ආලෝක ප්‍රභව වලට හේතුව මෙම ඡායාරූප චිත්‍රපට කලාගාරයක් තුලදී ලබාගෙන තිබීම බවයි.
නාසා ආයතනයේ පැහැදිලි කිරීම
සඳ මතුපිට ඇති විවිධ කඳු පල්ලම් ආදිය නිසා ආලෝකයේ දිශාව තරමක් වර්තනය වී ඇත.
නමුත් මෙම පැහැදිලි කිරීම මීට එරෙහි වන්නන් විසින් එක හෙලා ඉවතලනු ලබයි. මෙම ආකාරයේ සිදුවීමකින් මෙතරම් විශාල වශයෙන් ආලෝකය වර්තනය විය නොහැකි බව ඔවුන්ගේ අදහසයි. ඉහත ඡායාරූපයේ දැක්වෙන අන්දමට ආලෝකය අංශක 45කින් පමණ ආනත වී ඇත.
4.) වැන් ඇලන් විකිරණ තීරය
පෘථිවියේ චුම්බක ක්ෂේත්‍රය නිසාවෙන් රැඳී පවතින සදාකාලිකවම එම ස්ථානවලම පවතින අධික විකිරණශීලීතාවයෙන් යුක්ත තීරයක් අභ්‍යවකාශයේ තිබේ. මෙම තීරය හඳුන්වන්නේ වැන් ඇලන් විකිරණ තීරය යනුවෙනි. චන්ද්‍ර යානය සඳ මතට ළඟා වීමට නම් අනිවාර්යයෙන්ම මෙම කලාපය පසුකර යා යුතුය. චන්ද්‍ර යානය තුළ හා පිටත කොතරම ඝනකම් ඇලුමිනියම් ආවරණ තිබුනත් මෙම ප්‍රදේශයේ ඇති අධික විකිරණශීලීතාවය ගගනගාමීන්ව නිසැකවම පුළුස්සා දැමිය යුතුය.
නාසා ආයතනයේ පැහැදිලි කිරීම
මෙම විකිරණ තීරය පසුකර යාමට චන්ද්‍ර යානයට ගතවූයේ ඉතා සුළු කාලයකි. එම නිසා ඔවුන්ට විකිරණ ප්‍රහාර එල්ල වූයේ ඉතා අඩු ප්‍රමාණයකිනි. එම නිසා ගගනගාමීන් පිළිස්සී ගියේ නැත.
5.) අද්භූත වස්තුව
සඳ ගමනේ ඡායාරූප නිකුත් වූ පසුව එක් ඡායාරූපයක තිබූ විශේෂ වස්තුවක් පිළිබඳව කාගේත් අවධානය යොමු විය. ගගනගාමියෙකුගේ හෙල්මටයේ වීදුරුවෙන් පෙනෙන මෙම අද්භූත වස්තුව ලණුවකින් එහෙමත් නැත්නම් වයර් එකකින් එල්ලෙන ස්වාභාවයක් දක්නට ලැබේ. මෙම ස්ථානයට කිසිසේත්ම අදාළ නොවන මෙම වස්තුව චිත්‍රාගාර වල තිබෙන "ස්පොට් ලයිට්" එකක්ද?
නාසා ආයතනයේ පැහැදිලි කිරීම
මේ සම්බන්ධව පැහැදිලි කිරීමක් සිදුවී නොමැත. කෙසේ වෙතත් ඡායාරූප වල මෙම වස්තුව ඉතා අපැහැදිලි අතර හරියාකාරව හඳුනා ගැනීමට දුෂ්කරය.
කෙසේ වෙතත් ඡායාරූපවල තිබෙන යානයේ පිටතට විහිදී තිබෙන කිසිම කොටසක් මෙය බවට සැක කළ නොහැක.
(මෙම ලිපියෙහි දෙවන කොටසින් නැවත හමුවෙමු)

Wednesday, 13 July 2016

-ජන්මය-
වැහි බර පාටට තෙත් වු...
කදුලු කැට.
මියැදුනු වත
ඇහැරවන්නට පොරකන
මිනිස් රැල...
මළ මිනියට දස වද
දුන්හ...

                                  -Tiran-
-සඳ හමුව-
විනාඩි 5 එහේ රන්ඩුව
නැතුවම බැරිව….
මොහොතින් මගේ උර
තලයට බරව…
කිසිවක් නොවුනා ලෙස
සැඟවෙයි
මගෙ “සඳ හමුව”
කෙහෙරැලි සුළන් රොද
සමගින් සිනාපපා….
මුහුනේ දැවටු සිනා පොද
නික මල් වගේ සඳා…
මුහුනෙන් වැටුනු දා බිඳු
ගිලගනී
ඇගෙ ලැම තුරුල …

                               -Tiran-







අහංකාර කම මහා පළිගුවක් කරගනා සමහරෙක් ට වුවද ජන ජිවිතයේ මෙවැනි තත්වයකට ඕනැම මොහොතකදී පත් විය හැකිය.එහි ප්‍රමාණාත්මකභාවය කලින් නිශ්චය කල නොහැකි නමුත් එය තත්පරයක්, විනාඩියක්,හෝරාවක්, දිනයක්, මසක්,කාර්තුවක්, ලිත් වසරක්, දශකයක්,ජීවිතයක් විය හැකිය.ඔහු හො ඇය එහෙමත් නැතින ම් එකාට සංවර්දන වාසනාවක් , මහජන සම්පතක් ඇදෙන්නේ නැතයි උපකල්පනය කල හොත් අනෙකුත් සාදක ස්ථාවර යැයි සලකා විශාලම ගෙම්බා අහාරයට ගත යුතුය.
                                                                                                                                               -Tiran-
_පරිනාමණය_
ගින්දර සුන්දර
සැඩ සිත නිරුත්තර ...
එඩෙර , හොමොසෙපියනි
වෙශනිරුපනය
රුවටුනු නුබෙ
විරුද්ධ ලිංගිකයා ...
අයුතු අතක පැටලී
කෙලිනා පෙම් කෙලිය
සාම්ප්‍රදායික හස්ථයකි..

                        -Tran-